ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත් නිවැරදිය.එමෙන්ම ඕනෑම රටක් තම රටේ ක්‍රීඩා කෞශල්‍යය ජාත්‍යන්තරයට රැගෙන යන උච්චතම අවස්ථාව ඔලිම්පික් උළෙලක තම රට නියෝජනය කරමින් ලබාගන්නා පදක්කම් වේ.
පසුගිය ජූලි මාසයේ ජපානයේ තෝකියො නුවර 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වුනි.ටෝකියෝ නුවර මීට පෙර 1964 ගිම්හාන ඔලිම්පික් උළෙලටද සත්කාරකත්වය සැපයීය. ඒ අනුව, එක් වතාවකට වඩා ගිම්හාන ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය සැපයූ 5 වෙනි නගරය (ආසියාවේ පළමු නගරය) බවට ටෝකියෝ නගරය මේ සමග පත්විය.
‘‘හැඟීම් මගින් එක්සත්භාවයට‘‘ යනුවෙන් මෙවර තේමාව රැගත් ලෝක ක්‍රීඩාවේ විශිෂ්ටතම හා අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල 32 වැනි වරට සකුරා මල් පිපෙන ජපානයේ ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් 2020 ජූලි 24වන දින විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් ද සමගින් ආරම්භ විය.

වසර 04කට වරක් පැවැත්වෙන මෙම ඔලිපික් තරගාවලිය ඉකුත් වසරේ පැවැත්වීමට සැලසුම්කර තිබූවත් ගෝලීය වශයෙන් ලෝකයම වෙලාගත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ඔලිම්පික් උළෙල වසරකින් කල්දැමීමට ඔලිම්පික් බලධාරින්ට සිදුවිය.ආසියාවේ ප්‍රමුඛතම රටක් ලෙසින් දෙවැනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය හිමිකරගත් ජපානය,ඉතා සාර්ථක අයුරින් දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් මෙම ලෝකයාගේම අවධානය යොමු වන ක්‍රීඩාවේ විශාලතම මංගල්‍යය පවත්වන ලදි.2020 ගිම්හාන ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වූ අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට අනුගතවෙමින් ජෛව ආරක්ෂිත බුබළක් යටතේ ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සදහා සහභාගි විය.
ලෝකයේ රටවල් 200කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11,000කට අධික පිරිසක් ක්‍රීඩා 46ක් වෙනුවෙන් තරග ඉසව් 339ක් යටතේ පදක්කම් අරභයා මෙවර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරග බිමට ඇතුළත්ව වූ අතර කරට කර තරගයක් දෙම්න් ඇමෙරිකානු එක්සත් ජනපදය රන් පදක්කම් 39 හිමි කරමින් පදක්කම් සටහනේ පළමු ස්ථානයටත් චීන මහජන සමූහාආණ්ඩුව රන් පදක්කම් 38 හිමි කර ගනිමින් දෙවන ස්ථානයත් පත් විය.

මෙවර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබදව මීලගට හදුනා ගනිමු.මෙවර ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සුදුසුකම් ලබා තිබුණු අතර ඉන් පස් දෙනෙක් කාන්තාවන් වේ.

01. මිල්කා ද සිල්වා
ඇය මෙවර ඔලිම්පික් කණ්ඩායමේ නායිකාවද වේ.දහ අට වන වියෙහි පසුවන ඇය වසර 2011 සිට ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරතවේ.ඇය මේ වනවිට ජිම්නාස්ටික් ජාතික ශූරතාව වසර ගණනාවක් හිමි කරගෙන ඇති අතර, කණිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය, යොවුන් ඔලිම්පික් තරගාවලිය, ආසියානු කණිෂ්ඨ ශූරතා තරගාවලිය, ලෝක ශූරතාවලිය වැනි ජාත්‍යන්තර තරග රාශියක් නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි.
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබු ඇය ඉන්පසුව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනුත්, කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයෙනුත් සිය අධ්‍යාපන කටයුතු සිදු කර ඇත.ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ ඇයයි.
කෙසේ නමුත් මෙවර ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පළමු වටයෙන්ම ඇගේ මෙවර ඔලිම්පික් සිහිනය අවසන් කරන්නට ඇයට සිදුවිය.

02. මැතිල්ඩා කාල්සන්
මැතිල්ඩා කාල්සන් ඉදිරිපත් වන්නේ අශ්වාරෝහක තරග සඳහා වේ. එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන පළමු ක්‍රීඩිකාව ද මැතිල්ඩාය.
වයස මාස තුනක් වන විට මැතිල්ඩාගේ භාරකාරීත්වය ස්වීඩන් ජාතික යුවළකට පවරා තිබිණි. ඇය අශ්වාරෝහකයෙකු ලෙස සිය ක්‍රීඩා ගමන ආරම්භ කර ඇත්තේ ස්වීඩනයේ සිටය.
මැතිල්ඩාට මෙරට පුරවැසිභාවය ලබා දී ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ අරමුණින්ය. ඇය තරගයට සහභාගී වූයේ ‘චොපින්’ නම් අශ්වයා සමගය.නමුත් පළමු වටයෙන්ම අවාසනාවන්ත අයුරින් තරගයෙන් ඉවත් වීමට මැතිල්ඩාට සිදු විය.

03. ටෙහානි එගොඩවෙල
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු ටෙහානි එගොඩවෙල ඉලක්කයට වෙඩි තැබීමේ ඔලිම්පික් තරග ඉසව්ව වෙනුවෙන් මෙරට නියෝජනය කරන ලදි.
ඇය ඉදිරිපත් වූ, කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්ව මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සදහා සහභාගී වූයේ පුෂ්පමාලි රාමනායකය. ඒ, 2004 වසරේ දී ය.
ටෙහානි එගොඩවෙලගේ ඔලිම්පික් සිහිනයත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පළමු වටයෙන්ම නිමා කරන්න ඇයට සිදුවිය.
04. නිමාලි ලියනාරච්චි
නිමාලි ලියනාරච්චි කාන්තා මීටර් 800 ධාවන ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන ලදි.නමුත් ඇයට වැඩි දක්ෂතාවයක් පෙන්වමින් ඉදිරියට යෑමට නොහැකිවූ අතර ඇයට මුලික වටයේ තරගයෙන්ම ඉවත්වීමට සිදුවිය.
2019 ලෝක ආරක්ෂක ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කමත්, 2016 දකුණු ආසියානු තරගාවලියේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇය සමත් විය.
2015 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමත්, 2017 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කමත් දිනාගත්තාය. දැනට මෙම ඉසව්වෙන් අපට සිටින අත්දැකීම් බහුල ක්‍රීඩිකාව ඇයයි.

05. අනිකා ගෆූර්
මෙවර ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබාගත් ළාබාලතම ක්‍රීඩිකාව වන්නේ අනිකා ගෆූර්ය.ඇය මේ වනවිට 17 හැවිරිදි වියේ පසුවෙයි.
සමනල ආර තරග ඉසව්වක් යටතේ ඔලිම්පික් සුදුසුකම් ලද මුල්ම ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩිකාව වන්නේත් ඇයයි.
ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු තරගාවලියේ දී මීටර් 100 මෙඩ්ලි සහාය සහ මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව් සඳහා රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්තාය.අනිකා වර්තමානයේ තායිලන්තයේ ජීවත් වේ.

06. යුපුන් අබේකෝන්
2021 වසර වනවිට දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන්නට වාසනාව ලැබෙන්නේ යුපුන් අබේකෝන්හටයි.
ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජීවත් වෙමින් පුහුණුකිරීම් කරන මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ධාවන තරගයට සහභාගි වූ ඔහුට අවාසනාවට මූලික වටයේ තරගයෙන් ඔහුගේ හොදම කාලය වාර්තා කරමින් ඉදිරියට යෑමට නොහැකි විය.
1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල නියෝජනය කළ චින්තක ද සොයිසාගෙන් වසර 25 කට පසු, ඔලිම්පික් උළෙල මීටර 100 ඉසව්ව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ යුපුන් අබේකෝන්ය.

07. චාමර නුවන් ධර්මවර්ධන
චාමර නුවන් ධර්මවර්ධන සැහැල්ලු බර පන්ති ජූඩෝ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගී විය. 28 වන වියේ පසුවන ඔහු ගුවන් හමුදා කෝප්රල්වරයෙකු ලෙස සේවය කරයි.
අවුරුදු 15 සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට සහභාගී වී පදක්කම් රාශියක් ලබා ගෙන ඇති ඔහු අත්දෑකිම් බහුල ක්‍රීඩකයෙකි.චාමර 2016 වසරේ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සහභාගි වූ අතර තම බර පන්තියෙන් 9 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මෙවරද ඉතා හොද තරගයක් ලබාදුන් නමුදු තරගයේ ඉදිරියට යෑමට ඔහුට නොහැකි විය.

08. නීලුක කරුණාරත්න
නිලුක කරුණාරත්න යනු මෙරට සිටින අත්දෑකීම් බහුලම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වෙයි.36 වන වියෙහි පසුවන ඔහු දැනට ඔලිම්පික් තරගාවලි 04ක් සදහා මෙරට නියෝජනය කර තිබේ.නමුත් ඔලිම්පික් පදක්කමක් ලබාගැනිමට ඔහුට මෙතෙක් නොහැකි විය.බැඩ්මින්ටන් ඒකල ඉසව්ව සදහා ඔහු මෙවර සහභාගී වූ අතර මූලික වටයේ තරග දෙකෙන්ම ඔහුට පරාජයට පත්වීමට සිදුවිය.
2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් පිරිමි ඒකල ඉසව්වට සහභාගී වුණු නිලූක පළමු වටයේ දී ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල අංක 8 ක්‍රීඩකයා වූ ජපානයේ කෙනිචි ටාගෝ තරග වට 2-0ක් ලෙසින් පරාජයට පත් කළේය.2016 ඔලිම්පික් තරගාවලියේ ද ඔහු පළමු වටවල ජයග්‍රහණ ලැබීය.

09. මැතිව් අබේසිංහ
මෙරට පිහිනුම් ශූර මැතිව් අබේසිංහ පිහිනුම් මීටර් 100 ඉසව්ව සදහා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ අතර එහි මූලික වටයේ තරගයේදී පළමු මීටර් 50 තුළ ඉදිරියෙන්ම සිටියත් අවසානයේ ඔහුට තරගය ජයග්රාහි කර ඊලග වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.මේ ඔහුගේ දෙවන ඔලිම්පික් තරගයයි.
2016 සහ 2019 වසරවල දී පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිවල දී රන් පදක්කම් 7 බැගින් දිනාගත් ඔහු, දකුණු ආසියානු පිහිනුම් වාර්තා හයකට හිමිකම් කියයි.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදි.කිසිදු පදක්කමක් ලබාගැනීමට මෙවරත් අපේ කණ්ඩායමට නොහැකි වූ අතර, ඉතිහාසයේ අප ඔලිම්පික් පදක්කම් දෙකක් පමණක් ලබාගෙන ඇත.ඒ වසර 1948 ඩන්කන් වයිට් මහතා විසින් ලබාගත් රිදී පදක්කම හා වසර 2000දී සුසන්තිකා ජයසිංහ මහත්මිය ලබාගත් රිදී පදක්කමයි.
එදා මෙදා තුර ඔලිම්පික් තරග බිමේ අපේ විවිධාකාර රසවත් මතක සටහන් කිහිපයක් මතක් කර ගනිමු.
ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම ලැබෙන්නේ වසර 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී. ඒ ඩන්කන් වයිට් මහතා විසින් මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ලබාගත් රිදී පදක්කමයි.
1948 ජූලි 30වන දින උදය වරුවේ එම ඉසව්වේ මුලීක වටයේ තරගයෙන් පහසුවෙන් ප්‍රථම ස්ථානයට පැමිණි වයිට් මහතා එදින සවස අවසන් පූර්ව තරගයෙන් තුන්වැනි ස්ථානය ලබාගෙන අවසන් තරග සදහා සුදුසුකම් ලැබුවා.ජූලි 31වන දින මීටර් 400කඩුලු පැන දිවීමේ අවසන් තරගයෙන් වයිට් මහතා දෙවන ස්ථානය ලැබුවේ හත්වන කඩුල්ල සදහා ඔහුගෙන් සිදුවූ අතපසුවීමකිනි.එහි රන් පදක්කම ලැබු ඇමෙරිකන් ජාතික රෝයි කොච්රන් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවන ලදි.කාලය තත්පර 51.8 තුල තරගය නිමකල වයිට් මහතාද පැරණි ඔලිම්පික් වාර්තාව අභිභවා යාමට සමත්විය.මෙම පදක්කමත් සමග එවර රටවල් 59 සහභාහි වූ ඔලිම්පික් උළෙලේ 28 වන ස්ථානය දිනා ගැනීමට අප රටට හැකීවිය.
මෙම සිදුවීම මෙරට ජාතික පුවත්පතක් වන ලංකාදීප පුවත්පත ප්‍රථම වරට ක්‍රීඩා පුවතක් ජාතික පුවතක් ලෙසින් වාර්තා කරන ලදි.
එහි සදහන් වූයේ , “ලංකාව පනිමින් දිවීමේ ඔලිම්පික් තරගයේ දෙවැන්නා වෙයි” යන්නයි.



වසර 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ රණතුංග කරණානන්ද මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ලෙසින් ඉතිහාස ගතවී ඇත.
එදා ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සහභාගි වූ අතර එහිදි රණතුංග කරණානන්ද මීටර් 10000, මීටර් 5000 හා මැරතන් යන තරග ඉසව් සදහා ඉදිරිපත් වීමට නියමිතව තිබුනා.මීටර් 10000 තරගයට පෙර දින ඔහුට උණ වැලදී රෝගාතුර වුවත් ඔහු පසුදා තරගයට ඉදිරිපත් වුනා.මුල් වට ඉතා හොදින් ධාවනයේ යෙදුනත් අසනීප තත්ත්වය නිසා ඔහු කෙමෙන් තරගයේ පසුපසට ඇදුනා.ඇමෙරිකාව, ටියුනීසියාව, ඕස්ට්‍රලියාව පිළිවෙළින් රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනාගත් අතර අනිකුත් තරගකරුවන් සියල්ල්මද තරගය අවසන් කරන ලදි.එහෙත් තවත් තරග වට 03 ඉතිරිව තිබි කරුණානන්ද තරගය අවසන් වන තුරුම ධාවනයේ යෙදෙන ලදි.මුලින් ප්‍රේක්ෂකයින් හූ හඩ දුන්නද පසුව දැඩි නිශ්ශබ්තාවයකින් අනතුරුම අත්පොළසන් දෙමින් ඔහුට ” කරූ සිලෝන් ” යනුවෙන් කෑ ගසමින් දිරිමත් කරන ලදි.
කරුණානන්ද තරගය අවසන් කිරීමෙන් අනතුරුව ලොව පුරා අවධානය මෙම අධිෂ්ඨානශීලි ක්‍රීඩකයා කරා යොමු වන ලදි.
ලෝක යුද්ධයෙන් පීඩා විදි ජපාන ජනතාව නැවත තම රට නගා සිටුවීම සදහා තම රට වැසියන් දීරිමත් කිරීමට කරුණානන්දගේ කතාව ජපාන පෙළපොත් සදහාද ඇතුලත් කරන ලදි.
ඔලිම්පික් පදක්කමක් නොලැබුවද මෙම විශිෂ්ඨ ක්‍රීඩකයා මෙරටට විශාල අහිමානයක් රැගෙන එන ලදි.



1948න් පසුව අප සහභාගි නොවුනු එකම ඔලිම්පික් උළෙල වන්නේ 1976 පැවති මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලයි.එයට සහභාගි වීමට ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි මැරතන් ක්‍රීඩක ලූෂන් රෝසාට ඉතා කණගාටුදායක ලෙස අවසාන මොහොතේ තරගයට ඉදිරිපත් විමට හැකියාවක් ලැබෙන්නේ නැහැ,ඒ මෙරට ක්‍රීඩා බළධාරින්ගේ නොසැලිකිලිමත් හා අකාර්යක්ෂමතාවය නිසාවෙන්. එයින් ඔලිම්පික් පදක්කමක් හෝ අවසන් 10 අතරට හෝ පැමිණීමට බෙහෙවින් හැකියාව තිබු රෝසාගේ මෙන්ම රටේද බලාපොරොත්තු සුන්විය.
ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පාක්හීඩ් සරසවියේ දිගු දුර ධාවනය සම්බන්ධව පුහුණුව ලබමින් 1976 ඔලිම්පික් උළෙලට සහභාගි වීමට ඔහු පැමිණෙන ලදි.
ජාත්‍යන්තර තරග කීපයකටම සහභාගී වී මුල් දසදෙනා අතරට පැමිණීමට හැකිවූ රෝසාට මෙම ඔලිම්පික් තරගාවලියේදි අවම වශයෙන් මුල් දසදෙනා අතරට ඒමේ හෝ හැකියාවක් තිබුනි,අවාසනාවන්ත ලෙස රෝසාගේ ඔලිම්පික් ගමන එසේ නිමවන ලදි.


වසර 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියට, මෙරට නියෝජනය කරමින් ඉදිරිපත් වූ සුගත් තිලකරත්න මීටර් 400 තරග ඉසව්ව සදහා ඉදිරිපත් වුනා.
ඔහු මූලික වටයේ 05වන තරගයට ඉදීරිපත් වූ අතර 8 වන මංතීරුවේ ධාවනයේ යෙදුනා,මෙම තරගයට ඒ වනවිට එම ඉසව්වෙන් ලෝක ශූර ඇමෙරිකානු මයිකල් ජොන්සන්ද ඉදිරිපත්ව සිටියා.සියල්ලන් මවිතයට පත් කරමින් සුගත් තිලකරත්න තරගය ප්‍රථමයෙන් අවසන් කලේ මයිකල් ජොන්සන්ද අභිහවා යමින්.එය ඒ මොහොතේ විශ්වාස කල නොහැකි දෙයක් ලෙස සියල්ලන්ටම හැගී ගිය අතර කාගේත් අවධානය සුගත් කෙරෙහි යොමුවන ලදි.මයිකල් මේ පිලිබදව කේන්තියෙන් සිටි අතර ඔහු සුගත් සමග ජයාරැපයක් ගැනීමත් ප්‍රතික්ෂේප කරන ලදි.
පසුව අර්ධ අවසන් පූර්ව වටයේ තෙවන තරගයේ දීමොවුන් දෙදෙනා යළිත් මුණගැසුනු අතර එහිදි සුගත්ට ලබාගත හැකිවූයේ 7වන ස්ථානයයි.
නමුත් මයිකල් ජොන්සන් එම ඉසව්වේ අවසන් තරගය ඔලිම්පික් වාර්තාවක් සමගින් නිම කරමින් රන් පදක්කමක් ලබාගන්නා ලදි.



වසර 1948න් වසර 52ක් වැනි දීර්ඝ කාලයකින් අනතුරුව ඔලිම්පික් පදක්කමක පහස ලබන්නට අප වාසනාවන්ත වන්නේ 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් උළෙලේදිය.ඒ මෙරටින් බිහිවූ විශිෂ්ඨතම ධාවන ශූරි සුසන්තිකා ජයසින්හ විසින් මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කරගැනීමෙනි.
2000 සැප්තැම්බර් 28 වැනිදා පැවති අවසන් තරගයේ දී අමෙරිකාවේ මේරියන් ජෝන්ස් තත්පර 21.84කින් තරගය නිමා කර පහසුවෙන්ම රන් පදක්කම දිනා ගත්තා. තත්පර 22.27ක කාලයකින් තරගය අවසන් කළ බහාමාස් රාජ්‍යයේ පෝලින් තොම්සන්ට රිදී පදක්කම හිමිවෙද්දී තත්පර 22.28ක කාලයකින් තරගය නිම කළ ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහට ලෝකඩ පදක්කම හිමිවුණා. පසු කලෙක මේරියන් ජෝන්ස්ට එල්ල වුණු තහනම් උත්තේජක චෝදනාව යටතේ ඇය වරදකාරිය වුණා. එනිසා ඇයට හිමි ව තිබුණු සියලුම ඔලිම්පික් පදක්කම් අහිමිව ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුසන්තිකා ජයසිංහට රිදී පදක්කම හිමිවුණා.

එදාමෙදා තුර ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය එලෙසින් විවිධ කාලවලදී සනිටුහන් වි ඇතත්, රටක් ලෙස ක්‍රීඩාවෙන් පදක්කම් ලබා ගත නොහැකිව අද වනවිට යම් පසුබැසීමක් දක්නට ලැබේ.ක්‍රිකට්වලට තිබෙන උනන්දුව හා අනුග්‍රහය මලල ක්‍රීඩා සදහා නොමැතිකමද මෙයට හේතු වන්නට පුළුවන.
කෙසේහෝ මීළගට 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ හෝ ඔලිම්පික් පදක්කමක සිහිනය සැබෑ කරගැනීමට අප රටට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.