වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක වෙළද ප්‍රචාරනයකට හසුව ඇත.
පරිභෝජන සමාජයක ලෝකයේ නිෂ්පාදන හා සේවාවන් වැඩිවත්ම ඒවායේ වෙළද ප්රචාරනයද ඉහළ යයි.
මෙවර අපගේ මාතෘකාව වන්නේ අප රටේ ඉතා ජනප්‍රියවූ පැරණි ගුවන්විදුලි හා රෑපවාහිනි වෙළද දැන්වීම් පිළිබදව වේ.මේ කතබහ කාලෝචිතව වැදගත් වන්නේ මේ වනවිට සම්පූර්ණයෙන්ම වාගේ ගුවන්විදුලි වෙළද දැන්වීම් සිදු නොවීමත්, රෑපවාහිනි වෙළද දැන්වීම් කලාවත් තරමක් දුරට මිනිසුන්ගෙන් ඈත්ව යාමට ආරම්භ වී තිබීමත් නිසාවෙනි.අප ජීවත්වන ඩිජිටල් සමාජය නිසා වෙළද දැන්වීම් කලාවද ඩිජිටල් ලෝකය පුමුඛ කරගනිමින් සිදු වීමට පටන් ගෙන තිබේ.
පුවත්පත් දැන්වීම්, ගුවන්විදුලි වෙළද දැන්වීම්, රෑපවාහිනි වෙළද දැන්වීම් අභිභවා Google Ads, Youtube Ads ලෙසින් වෙළද ප්‍රචාරනය නවමු ආකාරයට දැන් වෙනස් වි තිබේ.එයට හේතුව අද බොහෝ දෙනෙකු තම කාලය වැඩිපුරම Google, Youtube, Facebook, Instagram, Twitter ආදි ඩිජිටල් මාධ්‍යන්හි ගත කිරීමයි.බොහෝ දෙනෙකු ස්පර්ශ කල හැකි මාධ්‍ය ලෙසට ඩිජිටල් මාධ්‍ය පත්ව තිබීමයි.
මේ හේතුවෙන් නැවත නිෂ්පාදනය වීමේ සම්භාවිතාවය අඩු හරවත් රසවත් රෑපවාහිනි හා ගුවන්විදුලි වෙළද දැන්වීම් පිළිබද මතක ආවර්ජනය අප කාගේත් ජිවීතයේ එක්තරා යුගයක් පිළිබදව සිහි ගන්වයි.
80-90 දශකවල අතිශයින්ම ජනප්‍රිය වූ රෑපවාහිනි වෙළද දැන්වීම් බොහොමයක්ම පාහේ සුරක්ෂිතව අදටත් සුරුකිව ඇත.එසේම පත්තරෙන් පමණක් සියල්ලම දැන්වීම්කරණය වූ යුගයේ ප්‍රචාරණය වූ පත්තර දැන්වීම්ද බොහොමයක් අදටත් සංරක්ෂණය වී තිබේ.රෑපවාහිනිය පැමිණෙන්නට ප්‍රථම වෙළද ප්‍රචාරණය වූ ගුවන් විදුලි දැන්වීම් එතරම් සංරක්ෂණය වී නොතිබුනද පැරැන්නන්ට ඒවා මතකය.
මෙලෙස දීර්ඝ කාලයක සිට පැමිණෙන මෙරට වෙළද දැන්වීම් කලාව එක්තරා යුගයක රැපවාහිනිය දැඩි ලෙස ආක්රමනය කරගෙන තිබුනි.එය කොයිතරම්ද කියතොත් වෙළද දැන්වීම් රාශියක් අතරේ අතරින් පතර වැඩසටහනක් අපට බලන්නට හැකිය.අද කියාද වෙනසක් නොමැත.නමුත් අද රෑපවාහිනිය බලන පිරිස හා බලන කාලය අද අඩුය.අද මෙම තත්ත්වයම Youtube හරහා දැකගත හැකිය.එතරම් වෙළද දැන්වීම් සදහා මුදලක් කාලයක් අද ලෝකයේ සියළු රටවල් වෙන්කරනු ලබයි.
මෙවර අපගේ අවධානය යොමුවන්නේ මෙරට 80-90 දශකවල ජනප්‍රිය වූ රෑපවාහිනි වෙළද දැන්වීම් සම්බන්ධවයි.ඇත්තෙන්ම එකල සමහර වෙළද දැන්වීම් අද දකින විටත්, ලොකු කුඩා බාල මහළු කාගේත් ජීවිතවල එක්තරා යුගයක් මතකයට පැමිණෙයි.
විවිධාකාර රෑපවාහිනි දැන්වීම් අද දක්නට ලැබුනත්, ඝෝෂාකාරි සංගීතය හා නිර්මාණශිලීත්වයේ මදකම නිසා අද රෑපවාහිනි දැන්වීම් කොතෙකුත් හැදුනත් අපට මතක සිටිනුයේ ඉතාම අල්ප වශයෙනි.නමුත් ඒ දවස්වල දැන්වීම් සැකසුනේ අදට සාපේක්ෂව අඩු වශයෙන් වුවත් එම දැන්වීම් ඉතා හොදින් අප මතකයේ අදටත් ඇත.
අද අපි කතාබහට හසුකර ගත්තේ එලෙස මතකයේ රැදුනු ඒ දවස්වල රෑපවාහිනි වෙළද කිහිපයකි.
මෙම වෙළද දැණ්වීම් නිර්මාණය කරන්න ඒ සදහාම විශේෂිත ආයතන (Advertising agency ) තිබෙනවා.ඔවුන් උත්සාහ කරන්නේ ඉතා නිර්මාණශීලි ලෙස මෙම සන්නාම නාමයන් පාරිභෝගිකයන් අතරට රැගෙන යාමටයි.
පරම්පරා ගණනාවක් ගියත් අදටත් අප මතකයේ රැදෙන ලෙස කරන ලද අපි මේ කතා කරන වෙළද දැන්වීම් නැතිනම් … නිර්මාණශීලිත්වයේ ප්‍රවීණතාවය මනාව විදහා දක්වයි.
01. අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි
හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි
හෙට බිහිවන නායකයොත් පුංචි අපි තමයි
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි
මතකද මේ පුංචි පැංචිලගේ හඩින් කියන අදටත් අකුරටම කටපාඩම් මේ ගීත කොටස ඇතුලත් වූ රෑපවාහිනි වෙළද දැන්වීම.සෙලින්කෝ රක්ෂණ සමාගමේ සෙලින්කෝ ප්රණාම ශිෂ්‍යත්ව වෙනුවෙන් මෙම දැන්වීම නිර්මාණය වී තිබුනා.
එකල මෙවැනි ගීතමය නිර්මාණයක් අපූරෑ අදහසක් ඇතුලත්ව රෑප රචනය වී දැන්වීම් කලාවට එකතුවීම විශේෂයෙන් ළමයින් වෙනුවෙන් අලුත් අත්දැකීමක් වුනා.එය අවසානයේ ඇසෙන හෙට බිහිවන නායකයින්ට පිදෙන සෙලින්කෝ ප්රණාම ශිෂ්‍යත්ව කියන වචන පේළියත් එක්ක මෙම දැන්වීම තාමත් ඔබට මතකයි නම් ඔබට ඇත්තේ ඉමිහිරි ළමා කාලයක්.
මෙය නිර්මාණය වී ඇත්තේ වසර 2001දී.ආපස්සට හැරිලා බලනකොට දැන් මේ දැන්වීමට අවුරුදු 20ක් පරණයි. මේකේ ඉන්න පොඩි දරුවෝ දැන් ලොකුවෙලා තරුණ තරුණියෝ වෙලා ඇත්තටම රටට නායකත්වය දෙන වටින දරුවෝ වෙලා ඇති කියලා අපි විශ්වාස කරමු.
අන්තර්ජාල තොරතුරුවලට අනුව මෙම නිර්මාණය කර තිබෙන්නේ TVT නැමැති වෙළද දැන්වීම් ආයතනයක් විසින්.එහි වෙළද දැන්වීම් අධක්ෂක ලක්ෂ්මන් විජේසේකර මහතා, නිර්මාණ අධක්ෂක ලෙස හරිත් ගුණවර්ධන මහතා බවත් අපට සොයාගන්නට හැකිවුනා.වෙළද දැන්වීමකට එහා ගොස් පරම්පරා ගණනාවක් මතක සිටින මෙම නිර්මාණයට දායක වූ සියල්ලන්ටම අපගේ ස්තූතිය.
එතෙක් මෙතෙක් රෑපවාහිනි වෙළද දැන්වීම් ඉතිහාසයේ ළමුන්ගේ දිරිගැන්වීම වෙනුවෙන් සැකසුනු මතක සිටිනම අපූරුම නිර්මාණය මෙය බවට කිසිදු සැකයක් නැහැ.
02. ෂ්..ෂ්.. මදුරු කොයිල් එකක් තියෙනවද
බෝඩිමේ රැයක් ලෙසින් ආරම්භවී අපූරු දෙබස් කොටස් ඇතුලත්ව නිර්මාණය වුනු නින්ජා මදුරු කොයිල් ඇඩ් එක ඔබට අමතක වෙන්න නම් කොහෙත්ම විදියක් නැ.
පැය 10කටත් වඩා දැල්වෙන මදුරු කොයිල් එකක් ලෙසට නින්ජා මදුරු කොයිල් එක ජනප්‍රිය වූයේම මේ ඇඩ් එක නිසා කිව්වට කිසිම සැකයක් නැහැ.
හරි අපූරු ලෙස මෙහි දෙබස් සහ රගපෑම් අධක්ෂනය වි තිබුනා.
ඒ දවස්වක කලා ලෝකයට අවතීර්ණ වූ නවක මෙන්ම ජනප්‍රියම නළුවකු වු සනත් විමලසිරි හා කාන්චනා මෙන්ඩිස් නිමන්ති පෝරගේ මෙහි රංගනයෙන් දායක වී තිබුනා.මෙම දැන්වීම විකාශනය වුනේ වසර 1998.මේකටත් දැන් වසර 20කට වැඩි අතීතයක් තියෙනවා.
ඒත් අදටත් ෂ් ෂ් මදුරු කොයිල් එකක් තියෙනවද කියලා ඇහුන ගමන් නින්ජා කොයිල් එක මතක් වෙන්න තරම් මේවා අපේ හිත්වලට ගොඩක් සමීපයි.
මෙම නිර්මාණ අධක්ෂනය පිළිබදව ඔබ දන්නවා නම් ඔබට පුළුවන් හැමෝගෙම දැනගැනීමය පහළින් කොම්න්ට් කරන්න.
මෙම දැන්වීමේ ඊලග කොටස ලෙසින් බෝඩිමේ හබයක් ලෙසට දෙවන රෑපවාහිනි දැන්වීමකුත් සැකසුනා.පැය 10ක් දැල්විලත් තවත් ඉතුරු වන බවට තමයි දෙවන කොටසෙන් පෙන්නුවේ.නමුත් විශාල ජනප්‍රියතාවයක් ලැබුනේ පළමු ඇඩ් එකට තමයි.
03. කැන්ඩොස් මිහිරටයි සිත දිවගියේ
ඔබමයි මා හදවතේ සතුටු සිනාවන් මතුකළේ
එය රසබර හැගුමක් වේ සැමදිනේ..
හැගුමක් වගේ මිහිරක් මැවේ හද ලන්වුනේ
ඔව් කැන්ඩොස් රස රහසයි හැම මුවේ..
කෙළිබිමේ මිතුදම් මැවේ මිහිරටයි සිත දිවගියේ
විදින්න කැන්ඩොස් දැන් සිනා මැවේ…
අදටත් වචන ටික එකලෙසට කටපාඩමින් කියන්න පුළුවන් සුන්දර ළමා කාලයක් සිහිගන්වන මේ කැන්ඩොස් ඇඩ් එක පරණ ටීවී ඇඩ් මතක් කරද්දි උඩින්ම තියන්න පුළුවන්.
වසර 1996 වගේ තමයි කැන්ඩොස් චොක්ලට් වෙනුවෙන් මෙම රෑපවාහිනි වෙළද දැන්වීම විකාශනය වුනේ.ඒ කාලයේ ඔබට මතක නම්, ක්‍රිකට් මැච් විකාශනය වෙනකොට වගේම ජාතික රෑපවාහිනියේ විකාශනය වුනු ජනප්‍රිය කාටූන් වැඩසටහනක් වූ ටිං ටිං විකාශනය අතරතුරත් අනිවාර්යයෙන් මේ ඇඩ් එක වැරදුනේ නැහැ.
මෙහි එන ගීතය මතක හිටින්න ගායනා කලේ , මරියසෙල් ගුණතිලක මහත්මිය.ඇත්තෙන්ම මෙම ගීතයේ මූල් තනුව ජනප්‍රිය ඉංග්‍රීසි ගීතයක් වන Sweet Sweet Smile ගීතයයි.එය ගායනා කරනු ලබන්නේ Karen Capenters. විසිනි.ඔබේ පහසුවට එම ගීතයේ Youtube linkඑකක් මේ සමග ඇති.
මෙම කැන්ඩොස් ඇඩ් එකේ තවත් විශාල වශයෙන් ජනප්‍රිය වූ දෙයක් තමයි, නිල් පාටින් කැප් එකක් දමාගෙන ඉන්න පිරිමි ළමයාගේ රගපෑ ඉරියව්වයි.එය ගොඩක් පාසැල් ළමුන් පසුව අනුකරණය කලා.
කැන්ඩොස් චොක්ලට් වගේම රසවත් මෙම ඇඩ් එකටත් දැන් අවුරුදු 20කටත් වඩා වයසක් ගත වෙලා තියෙනවා.
04. ඇයි කට්ලට් සීයක් විතර කන්න පුළුවන් කිස්ට් සෝස්
කටට රසට කන්න කැමති සැමට KIST Tomato Sauce රෑපවාහිනි වෙළද දැන්වීම නම් කවදාවත්ම අමතකම කරන්න බැරී එකක්.
කුඩා ළමුන් පිරිසක් කෑම මේසයක් වටා කෑම ගන්න ගන්න අතරවාරයේ කිස්ට් සෝස් එක ගැන කියන අදහස් වලින් තමයි ඇඩ් එක හැදිලා තියෙන්නේ.වැඩිහිටියෝ යොදා ගන්නේ නැතුව මෙවැනි භාණ්ඩයක් සදහා ළමුන් යොදාගෙන ඉතා රසවත් ලෙසටත් හරවත් ලෙසටත් සෝස් එක ප්‍රචාරනය කිරිම ඉතා සාර්ථක වගේම ප්රතිඵලදායි දෙයක් වුනා.කියන්න ඕන හැමදේමත් සමග හරි අපූරුවට ඒ දෙබස් ටික සකස් කර තිබුනා.වසර1994දි හොදම රැපවාහිනි වෙළද දැන්වීම වූයේත් මෙයයි.
අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු අනුව මෙය අධක්ෂණය කර තිබෙන්නේ ස්ටීව් ද ලා සිල්වා මහතායි.උදය තෙන්නකෝන් මහතා නිර්මාණ අධක්ෂනයෙන් හා කැමරා අධක්ෂණයෙන් ලලිත් ප්‍රේමතිලක මහතා සිදු කර තිබෙනවා.නදී කහටපිටිය මුතුමාලයක් කරවට දමා ගත් දැරිය ලෙසිනුත් කණ්ණාඩි දමාගත් පිරිම් දරුවා ලෙසින් තීක්ෂණ මල්වත්ත සම්බන්ධ වී තිබෙනවා.ඔවුන් දැන් වැඩිහිටියන් ලෙසින් සමාජයේ විවිධ තැන්වල. මේ කුඩා දරුවන් තරුණවියට පත්වී මෙම ඇඩ් එකේම දෙවැනි කොටසකුත් කරනවා ඔබට මතක ඇති.වෙළද වටිනාමක් තිබුනත් කොතරම් මිහිරියාවක් තිබෙන මතකයක්ද නේද..
05. මිහිරි මතක හද රැදේ… ඔරේන්ජ් බාර්ලි
රෑපවාහිනි පරණ වෙළද දැන්වීම් මතකයන් ආවර්ජනය කරනකොට කොහොමටවත් අමතකම කරන්න බැරි තැනක් Elephant House ආයතනයේ ( ඒ දවස්වල හැදින්වූයේ Ceylon Cold Stores) අලියා ඔරේන්ජ් බාර්ලි වෙනුවෙන් කරපු දැන්වීම් දෙකට ලැබෙනවා.
වසර 1993 වගේ හැදුනු පළවෙනි ඔරේන්ජ් බාර්ලි ඇඩ් එකේ තියෙන්නේ ඉංග්‍රීසි ගීතයක්.ඉතා මනස්කාන්ත පරිසරවල සිත් ඇදගන්නා සුළුවෙන් එම ඇඩ් එක නිර්මාණය කර තිබුනා.
මේ තියෙන්නේ ඒකේ Youtube link එකක් ඔබේ මතකයට.
” ආදරණීය මල්ලි,
ඔයා නිවාඩුවට ගමේ එනවද? මීට ආදරණීය අක්කා “
මතකද මේ වචන ටික.ඇහෙනකොටත් අතීතයට යන අමුතුම හැගීමක් දනවන මේ ආදරණීය වෙළද දැන්වීම කාගේත් ප්‍රියතම එකතුවේ උඩින්ම ඇති.සහෝදරයකුගේත් සහෝදරියකගේත් කුඩා කල සිට ඔවුන් තරුණ වියට පැමිණෙන තෙක් ජීවිතේ විවිධ කාලවල ඔරේන්ජ් බාර්ලි ලග සිටි සුන්දර මතකයක් තමයි මෙහි දිගඇරෙන්නේ.
මෙහි විශේෂත්වය පළමු ඇඩ් එකේ ඇතුලත් වූ ඉංග්‍රීසි ගීතයේම තනුවට සිංහල ගීතය සකසා තිබීම හා එය ගායනා කර ඇත්තේ ජනප්‍රිය ගායක රජීව් සෙබස්තියන් මහතායි.
Paul Blacker මහතාගේ නිර්මාණශීලි අදහසකට තමයි මෙම ඇඩ් එක නිර්මාණය කර තිබුනේ Elephant House ආයතනෙයේ පළමු තත්ත්පර 60 දැණ්වීම වුනෙත් මේක.මෙරට රෑපවාහිනි වෙළද දැණ්වීම් ඉතිහාසයේ සලකුණක් ලෙසත් මෙය හදුන්වන්න පුළුවන්.මෙහි එන හඩ දායකත්වය දීලිප අබේසේකර මහතාගෙන්.
06. ලන්ඩන්වල ඇල්බට් අන්කල් සෙලාන් බැංකුවේ වෙස්ටන් යුනියන්
ලන්ඩන්වල ඇල්බට් අන්කල් අදත් මේ වචන ටික මේ ඇඩ් එක මේ සේවාව හැමදේම අපේ මතකයේ රදවන්න තරම් නිර්මාණශීලි ලෙස මෙය කරතිබුනා.
මෙම නිර්මාණය කර තිබුනේ වසර 1998. ඒ කාලයේ Online Banking කිසිදෙයක් නොතිබුනු කාලයක මෙම රටකින් රටකට මුදල් යැවීමේ සේවාව පිළිබදව මිනිසුන්ට සරලව හොදින් වටහාදෙන්න මෙයින් හැකිවුනා.සෙලාන් බැංකුවේ වෙස්ටන් යුනියන් සේවාව මෙරට මිනිසුන් අතර මෙය නිසා ඉතා ජනප්‍රිය වුනා.
ඔබට මතක නම් නාලන් මෙන්ඩිස් මහතාගේ ටෙලි නාට්‍යය සදහා බොහෝ අවස්ථාවල අනුග්‍රහය දැක්වූයේ සෙලාන් බැංකුවයි.සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යය යන අතරතුර මෙම ඇඩ් එක විශාල වශයෙන් විකාශනය වුනා.
මේ දැන්වීමේ හිටිය තරුණයත් එකරැයින් ජනප්‍රිය වුනා.ඔහු පසුකලෙක රිය අනතුරකින් මියගිය බවට කටකතාවක් පැතුරුනත් එහි ඇත්ත නැත්ත නම් අපිට සොයාගන්න බැරිවුනා.
තමන්ගේ සේවාදායකයට නිර්මාණශිලී ලෙස මෙවැනි ආකාරයේ පරම්පරා ගණනාවක් යනතුරු මතක සිටින දැන්වීමක් කරලා දෙන එක ඇත්තටම අගය කලයුතු කරුණක්.
07. ගම්පෙරළිට නෙමෙයි පෙම්පෙරළිය
මේ වචන ටිකත් එක්කම මතක් වෙනවා පෝලෝ වෙනුවෙන් නිෂ්පාදනය කෙරුනු මෙම වෙළද දැන්වීම.එහි මතක හිටිනම කොටස වුනේ මෙම ගම්පෙරළිය නෙමෙයි පෙම්පෙරළිය කියන කොටස.
ආදරණීය නවකතාවක් වුනු ගම්පෙරළිය නවකතාවේ නම මෙයට යොදාගෙන ලස්සනට මේ වචන ටිකත් එහි නිරූපනයත් නිරුමාණය කර තිබුනා.තරුණ යුවලක් ඉගෙනගන්න ගමන් කමින් සිටි පොලෝ වැටි මහළු කෙනෙකුගේ බුලත් හෙප්පුවට ඔහු ප්‍රබෝදමත් වූ සැටි තමයි මෙහි තිබුනේ.
Lowe Lintas Sri Lana නම්වූ වෙළද දැන්වීම් ආයතනයක් තමයි මෙය නිර්මාණය් කර තිබුනේ.
සිසිල ගලන මින්ට් සිදුර ලෙසින් ජනප්‍රිය මෙම පෝලෝ ඇඩ් එක විකාශනය වුනේ වසර 2001දී.
08. ඕනැම තැනක ඕනැම වේලාවක ඕනැම ගාණකට Dialog Kit ez Reload
ඇත්තෙන්ම රීලෝඩ් ගැන මිනිස්සු අතරට ගියේ මේ ඇඩ් එකෙන් කිව්වොත් හරි. Dialog වෙතින් කෙරුනු මේ දැන්වීම විතරක් නෙමෙයි මේ වෙනුවෙන් ඇඩ්ස් කිහිපයක් නිර්මාණය වුනා.
විශේෂත්වය වුනේ මේ හැම ඇඩ් එකකම සිටියේ අනර්කලි ආකර්ෂා වීම.ඇය මෙරට අතිශයින්ම ජනප්‍රිය වෙන්න මේ Dialog Kit ez Reload ඇඩ් නිසා සමත්වුනා.
සුරෙෂ් අයියා මට රු 50ක රිලෝඩ් එකක් දාන්න කියලා කියන දැන්වීම ඔයාට මතකද..
අද නම් online payment ඒ වගේම bill payment නිසා ඒ රීලෝඩ් කලාව දැන් එතරම් ජනප්‍රිය නැහැ.නමුත් ඒ කාලේ මේ වැඩේ තමයි අපිට තිබ්බ ලේසීම සහ ජනප්‍රියම ක්‍රමය.
මේ වෙළද දැන්වීමට සමගාමීව රටපුරා කඩවල්වල අනර්කලි ඉන්න Dialog Kit ez Reload පෝස්ටර් දැක ගන්න ලැබුනා.මෙය විකාශනය වුනේ වසර 2004.
09. කොහොඹ අලුත් ගුණ සුවදින්
ස්වදේශී නිෂ්පාදනයක් වන මෙම කොහොඹ සබන් සදහා කවදත් සිත් ඇදගන්නා රැමත් ලලනාවන් සිටින දේශීයත්වයට මුල්තැන දෙන වෙළද දැන්වීම් නිර්මාණය වූනා.
මෙම 90 දශකයේ මෙම ඇඩ් එක ඒ අතරින් වඩාත් ජනප්‍රියයි.
මෙම කොහොඹ ඇඩ් එකට පසුව මෙහි සිටින නළුවා හා නිළිය යොදාගෙන මෙහිම දෙවන කොටසක් නිර්මානය වුනා.විශේෂයෙන්ම දේශියත්වයට මුල්තැන දෙන නාදරටා මුසුව ගීතයක් මේ ඇඩ් දෙකටම යොදාගෙන තිබුනා.මෙම වෙළද දැන්වීම කර තිබුනේ Big International නම් ආයතනයි.රොහාන් පියදාස මහතා විසින් පිටපත ලියා නිර්මාන අධක්ෂනය කර තිබෙනවා.පළමු දැන්වීමේ ගීතය ගායනා කරන්නේ ඒ දවස්වල නවක ගායකයෙක් වූ ජනප්‍රිය රොමේශ් සුගතපාල විසිනි.
10. මොණර පිලක අරුමේ ලින්ක් කේශා
ලින්ක් කේශා සදහා වසර 1998 නිර්මාණය කෙරුනු මෙම රෑපවාහිනි වෙළද දැන්වීම අතිශයින්ම මෙරට ජනප්‍රිය වුනා පමණක් නොව මෙම භාණ්ඩයට අසීමිත ඉල්ලුමක් මෙරට තරුණියන්ගෙන් ලැබුනා.
කාන්තාවන් කේශ කලාපය වර්ධනයට තෙල් වර්ගයක් සදහා මේ තරම් ජනප්‍රිය වු පළමු දැන්වීමත් මෙය බවට කිසිදු සැකයක් නැහැ,.මේ ඇඩ් එකට රෑමත් තරුණියක් යොදාගෙන තිබුනා.ඇය ගැන සොයා බැලුවිට ඇය වසර 1993 Ms. Sri Lanka නමින් ජෙරල්සීන් ද රොසයිරෝ.
ඉන්දානි පෙරේරා මහත්මිය ගායනා කරන වන දෙව්ලිය තුරුළේ යන ගීතයේ තනුවට අනුව මෙම ඇඩ් එකේ ගීත කොටස නිර්මානය කර තිබුනා.ඇය විසින්ම රෑපවාහිනි වෙලද දැන්වීමටත් එය ගායනා කරනු ලැබුවා.මුල් ගීතය තරම්ම මේ මොණර පිලක අරුමේ ගීත කොටසත් ජනතාව අතර ජනප්‍රිය වුනා.
මේ රැපවාහිනි වෙළද දැන්වීම් දකිනකොට ඒවා අද වගේ අපි කාටත් හොදින් මතකයි.ඒ එම දැන්වීම්වල නිර්මාණශිලිත්වයේ ප්‍රභල බව නිසයි.අද එවැනි දැන්වීම් බිහි වන්නේ කලාතුරකින්.
මේ සටහන අවසන් වනවිට දැනෙන්නේ ආයිමත් වතාවක් ළමා කාලයට ගිහින් ආවා වගේ සුන්දර හැගීමක්.ඒත් දැන් මෙහම ඇඩ් හැදෙන්නෙත් නැහැ.අපි ඒවා බලන්න රැපවාහිනි ඉස්සරහ දැන් ඉන්නෙත් නැති තරම්.