• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

අලුත් අවුරුද්දේ තෙලෙන් බැදෙන කිරෙන් ඉතිරෙන අපේ සිංහල කැවිලි

May 17, 2022
in TBC
Throwback Ceylon

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශීයට සැපත්වීමේ සූර්ය මංගල්‍යය, උත්සව ශ්‍රීයෙන් පිළිගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකියන්ට ආවේණික වූ සම්ප්‍රදායික සුබ අවස්ථාව අලුත් අවුරුදු උදාවයි නැතහොත් බක්මහ අසිරියයි.

බක්මහ ආරම්භයත් සමග සියල්ලම් පිළිවෙළින් පෙළගැසෙන්නේ සූර්යය මගුල පිළිගැනීම සදහයි.ඈත අතීතයේ පටන්ම වර්තමානය දක්වාම නොනැසී පැවත එන චිරාගත සම්ප්‍රදාය මෙම අලුත් අවුරුදු උදාව හා සබැදි අවුරුදු නැකැත් සීට්ටුවයි.

සෑම වසරකම අප්‍රේල් 13 හා 14 යන දිනයන් යනු අවුරුදු සිරියෙන් පිරී ඉතිරී යන වසරේ සුන්දරම කාලයයි.බක්මහ අසිරිය කොතරම්ද සිත්ගන්නා සුළුද යත්, ගහකොළ සතා සිවුපා පරිසරයම සතුටින් වෙනස්ම සිරියක් ගනියි.

ගොයම් කපා අස්වැනු නෙළා ගෙන අටුකොටු බරව, සරුසාර කාලයක සියල්ලන්ම පාහේ ලහි ලහියේ සුදානම් වනුයේ අලුත් අවුරුද්ද පිළිගැනීමට වේ.මේ කාලය වසරේ තරමක් තද අව් රශ්මියකින් යුක්ත කාලයකි.

සිංහල ක්‍රමයට බක් යනු වසරේ පළමු මාසයයි.එය භග ලෙසද හැදින්වේ.අලුත් අවුරුද්ද “අවුරුදු කෑම ” ලෙසද ව්‍යවහාරයේ හැදින්වේ.අවුරුදු උදාව හා ආහාර අතර ඉතා දැඩි රසවත් සම්බන්ධයක් පවතියි.අවුරුද්දේ බාල මහළු කවුරුත් එක වගේ කැමතිම කාලය මේ අවුරුදු උදාවත් සමග ගෙවෙන දින කිහිපයට එක් හේතුවක් වී ඇත්තේද මේ අවුරුදු ආහාර සංස්කෘතියයි.ලෝකේ කොහේ වාසය කළත් සිංහල මනුස්සයෙක්ට කිසිදින අමතක කළ නොහැකි එක දෙයක් නම් අවුරුදි කාලයට රසවත්ව හැදෙන තෙලෙන් පැණියෙන් කිරියෙන් උතුරන ආහාර අපටම ආවේණික ආහාර මේසයයි.

මෙවර අපගේ කතාබහ අවුරුද්දේ මේ කාලයට බඩපුරා අනුභව කරන සිංහල ආහාර සංස්කෘතියයි.

අලුත් අවුරුද්ද උදාවත් සමග සෑම නිවෙසමකට ප්‍රථම රාජකාරිය වන්නේ අවුරුදු නැකැත් සීට්ටුවට අනුව නැකැතට ලිපගිනි මොළවා ආහාර පිසීමයි.මෙහිදී පළමුව කිරි උතුරවා අනතුරුව තම කුඹුරුවලින් ලබාගත් අලුත් සහල් අස්වැන්නෙන් කිරිබතක් සාදා ගැනිම කරනු ලැබේ.

නැකැතට ලිප ගිනි මෙළවීම සිදු කිරීමෙන් වසර පුරාම ආහාර හිගයක් තම නිවසට සිදු නොවේ යන්න පැරැන්නන්ගේ සිට අද දක්වා පැවත එන විශ්වාසයකි.

ජෝතිශ්‍යට අනුව අලුත් සහලෙන් සකසා ගන්නා අවුරුදු කිරිබත වෙනුවෙන් එක් එක් වර්ෂයට අනූකූල වන ලෙස යොදා ගන්නා තල ,මුං, කොල්ලු වැනි ධාන්‍ය වර්ගද කිතුල් හකුරු,පොල් හකුරු, කිරි,පැණි ආදි ද්‍රව්‍ය තිබේ.

අවුරුදු කිරිබත සමග අවුරුදු කෑම මේසය වෙනුවෙන් සකසා ගන්නා විශේෂ ව්‍යංජනය වන්නේ හත් මාළුවයි.ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙම හත්මාළුව සදහා යොදා ගන්නා එළවළු වර්ග හත වෙනස් වෙයි. කොළ වර්ගයක්, ධාන්‍ය වර්ගයක්,අල වර්ගයක් , නාඹර කජු ඇතුළුව තවත් එළවළු වර්ග හතරක් යොදාගෙන මෙම හත් මාළුව සකසා ගනියි.

අලුත් අවුරුදු ආහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අවුරුදු කෑම මේසය මෙදින සෑම නිවසකම විශේෂිත වේ.කිරිබත පමණක් තනිව ආහාරයට ගැනීමට සිංහලයන් පුරුදුව නොමැත.කොණ්ඩ කැවුම්, කොකිස් ,ආස්මි පොදුවේ ලංකාව පුරාම ආහාරයට එක් කරගන්නා කැවිලි වර්ග වේ.නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වූ කැවිලි වර්ග අවුරුදු කෑම මේසයට එක් කරගැනිම සිරිතය.එකම කැවිලි වර්ගය විවිධ ප්‍රදේශවල විවිධ නම් වලින් හැදින්වීමද දකින්නට ලැබේ.

මහනුවර ප්‍රදේශයේ උදුවැළ් හෙවත් පැණිවළලු සහ නාරං කැවුම්ද, දකුණේ ගිරුවාපත්තුවේ හා රුහුණු මාගම්පත්තු වැසියන් කළු දොදොල්, මුං ගෙඩි ආදියද, සත් කෝරළයේ අමර කැවුම් හා කීරොටිද, නුවර තාලාවිය ප්‍රදේශයේ තල හෝ කජු අලුවා එවැනි ප්‍රදේශවලට ආවේණික වූ අවුරුදු කැවිලි වර්ග වේ.මීගමුව හලාවත ප්‍රදේශයෙන් රසවත් මීගමු අලුවා අවුරුදු කෑම මේසයට එක් කරගනියි.

මෙලෙස සකස් කරගත් අවුරුදු මේසය අනුභව කිරිම හෙවත් ඉදුල් කිරීම සිදු කරනු ලබන්නේද නැකත් වේලාවකටය.ගෙදර ප්‍රධානියා විසින් තම ස්වාමි දුවට හා දූ දරුවන්ට අදාල දිශාව බලා කිරිබත් කටක් කැවීමෙන් ආහාර අනුභවට නව අවුරුද්දට ආරම්භ කරන අතර අනතුරුව බුලත් කොළයක එතු කාසියක් නිවසේ ප්‍රධානියා විසින් ස්වාමි දුවට ලබාදීමෙන් ගනුදෙනි චාරිත්‍රය සිදු කරයි.

සමහර ප්‍රදේශවල අවුරුදු කෑම මේසය ඉදුල් කීරිමට හා ගනුදෙනු කිරීමට හොද අත්වාසියක් ඇතැයි අතමිට සරු පුද්ගලයෙකුට ආරාධානා කරයි.

උදාවූ නව වසර බත බුලතින් සරුසාර වී, සරු අවුරුද්දක් ලෙසින් නිසි කළමණාකරණයෙන් යුක්ත වෙන්න කරන ප්‍රාර්ථනය මේ සියළු චාරිත්‍ර පිටුපස ඇති අරුතයි.

සම්ප්‍රදායික සිංහල මිනිසුන් කිසිදිනෙක අලුත් අවුරුද්ද තනිව සැමරුවේ නැත.කෘෂිකර්මාන්තය මුල් කරගත් රටක් ලෙස අපේ රටේ මිනිසුන් පෙර සිටම සාමුහිකව තම තමන්ගේ කාර්යන් බෙදාහදාගෙන දියුණු වෙන ලදි.අවුරුදු උදාවට ප්‍රථම අස්වනු නෙලාගෙන අටුකොටු පුරවා අතමිට සරු කරගන්නේ සිංහල ගැමියන් එකිනෙකාට උදව් කරගනිමින්ය.අවුරුදු උදාවේ ප්‍රීතිය එලෙස තමන් හා එක්ව දහඩ්ය හෙලු අස්වාසීන් සමග බෙදාහදා ගත්තේ අවුරුදු කෑමත් සමගිනි.මෙම සංස්කෘතිය අපගේ සිංහල ජන සංස්කෘතියේ දැක්වේ.

අවුරුදු මාලය නම් වූ ජනකවි ඛාණ්ඩයේ සිංහල අලුත් අවුරුද්ද හා ආහාර සංස්කෘතිය පිළිබදව දක්වා ඇත.අවුරුදු මාලයේ සදහන්ව ඇති කරුණු කිහිපයක් සැකෙවින් පහතින් දක්වා තිබේ.

අස්වනු නෙලා ගැනිමෙන් අනතුරුව අතමිට සරුව ඇති ගැමියන් වෙනදා අනුභව කරන  සිංහල හාලේ බත වෙනුවට අවුරුද්දට සම්බා හාල් මිලට ගන්නේ ජයට අවුරුදු ගැනිමට බව මෙලෙස ලියැවී තිබේ.

සුලැයි ගාමි මුත්තද කයිවරි               සම්බා
තිබෙයි හාල් කඩවල මේ කී               සම්බා
දෙතෙයි ලාබෙටත් මැන මිලගෙන     සම්බා
එතෙයි ගෑනු අරගෙන අවුරුදු            සම්බා

බුලත්,පුවක්, දුම්කොල, මිරිස්, මිරිදිය කරදිට මාළු, ගව හා කුකුළු ආදි මස් වර්ගද අවුරුද්ද වෙනුවෙන් ගැමියන් මිලට ගෙන ඇත.එලෙසම අවුරුදු මාලයේ කියැවෙන්නේ අන්නාසි,බතල, අර්තාපල්,ලබු,පුහුල්,මාළු,දීකිරි,කිරිපැණි,සූකිරි, දුන්තෙල්,සියන්සීනි,ගල්කණ්ඩු, බෙලිමල්,කෝපි, පලතුරු වර්ග ආදි ආහාර වර්ග රාශියක් අලුත් අවුරුද්ද වෙනුවෙන් ගැමියන් කල්තියාම එකතු කරගත් බවයි.

ලුණු මිරිස් හුණු දුම්කොළ සහ                    මාළු
නානුවලට දෙහි ලුණු පුවකුත්                      දාළු
මුණු බලන්නට කැඩපත්                          පූවාලූ
ගෑනු පිරිමි අවුරුද්දට ගෙන                        යාළු

දෙල් කොස් පොල්ද සම්බල් කන්නට         කොරළි
පොල් කිරිවලට ලුණුලා තොර                   පරන්විලි
පොල් පැ ණි කිතුල් පැණි හැදුමට නොවී           මැලී
පොල් රා කිතුල් රා ගෙනියති කඩ                  කැවිලි

තවද එකල ගැමියන් විසින් ගමේ විසූ විවිධ තරාතිරම්වල පුභූ උදවිය වෙත අලුත් අවුරුද්දේ දැක බලා ගැනිමට යන ලද්දේ විවිධවූ ආහාර කද මලු බැදගෙන බව අවුරුදු මාලයේ දැක්වේ.ගමේ වෙදරාල, යකැදුරු,කඩපිළේ මුදලාලි අය වෙත මෙලෙස වෙනස් ආහාර වර්ග පොදි බැද අවුරුද්දට දැක බලා ගැනිමට ගොස් ඇත.

ඇත්තෙන්ම එකල අවුරුදු සිරිත්, අවුරුදු ආහාර හා බැදි මෙකී කරුණු අපේ අතීතයේ සුන්දර ගම්මානයක සරලව විදින ලද සතුට මොනවට පැහැදිලි වේ.

අවුරුදු මාලයේ අපේ ආහාර සංස්කෘතිය මනාව දිග හැරෙන අතර එකල ගැමියන්  ගමේ කා සමගත් සහජීවනයෙන් යුක්තව ජීවත්වූ ආකාරයත් පෙන්වා දෙයි.මෙම සහජීවනය නැමැති සංකල්පය මතින් මිනිසුන් වැඩ කරන්නට වූයේද අපගේ ආහාර සංස්කෘතිය පෙරදැරි කරගෙනය.

දේශිය රසකැවිල්ල මේ තරම් විවිධත්වයකින් යුක්ත විමට ඉවහල් වූයේ මෙරට ඇති විවිධ ධාන්‍ය වර්ගයි.උදු මුන් තල වී මෑ කුරහන් මෙනේරී ආදී ධාන්‍ය  වර්ග එකල සිංහල ගෙදරක වැරදුනේ නැත.අග්ගලාවක් දිනපතා  සැදුනේ නැති ගෙයක් නොමැති තරම්ය.කැවිල්ලක් මෙන්ම එය පෝෂණයද ලබා දුන්නේය.මෙම කැවිලි සැදීම වෙනුවෙන් කිතුල් පැණි හා පොල් පැණි භාවිතා කල අතර එමගින් අවුරුදු කාලය රසගුලක් බවට පත්වන ලදි.

බොහෝ රස කැවිලි ගිතෙල්, හකුරු එක්කර සාදනු ලබයි.කිතුල් හකුරු ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව බෙහෙවින් ගුණදායක ය. මළ බද්ධය වැළැක්වීමට, අක්මාවෙන් අහිතකර විස ඉවත් කිරීමට, සෙම්ප්‍රතිශ්‍යාවට, ලේ පිරිසුදු කිරීමට, ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට, මාසික වේදනාව අඩු කිරීමට, රක්තහීනතාව වැළැක්වීමට, ආන්ත්‍රික කුඩා අන්ත්‍රයේ, මහාන්ත්‍රයේ සෞඛ්‍ය රැකීමට, රුධිර පීඩනය පාලනය කිරීමට, ස්වසන ගැටලුවලට, සන්ධි වේදනාවෙන් සහනයක් ලැබීමට, බර අඩුකර ගැනීමට, ශක්තිය ලබා ගැනීමට හකුරු හොඳ ආහාරයකි.

ගිතෙල් ද ජීර්ණය දියුණු කරන, පෝෂක උරා ගැනීමේ හැකියාවට වැඩි කරන, ආහාර මාර්ගය නිරෝගී කරන, සිරුරේ විස නසන, ඔසුවකි. එහෙත් අද වැඩි දෙනෙක් වසර පුරාම එක වාගේ පැණි රස ආහාර භුක්ති විඳිති. ඒ ලෙසම කැවුම් ගෙඩියට, මුං කැරැල්ලට, කිරිබත් කැටයට හිමි වු තැන කේක් පුඩිං අයිස් ක්‍රීම්වලට හිමි වී පවතී. ඒ නිසා වෙනදාටත් වඩා මේ සංස්කෘතික අංගය ගැන ගැඹුරින් සිතා බැලීමට කාලය එළඹී තිබේ.

කැවිලි නව වසරේ සුබ සංකේතය යි. සූර්ය පූජාව යි. කුස පිරෙන ප්‍රධාන කෑමකට කෙරෙන රසවත් ආරාධනය යි. එහෙත් අප මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ කිසිදු කැවිලි වර්ගයක් කුස පිරෙන්න නොගත යුතු බවයි.

අපේ කැවිලි බොහොමයක් ගැඹුරු තෙලේ බැඳ සාදා ගනු ලබයි. එවැනි ආහාර ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විඳින්නන්ගේ රෝගී තත්ත්වය උත්සන්න කරයි. මුං ඇටවලින් පිළියෙල කරන රසකැවිලි බොහොමයක් මුං ඇට බැද හෝ තෙල් සමඟ මිශ්‍රකර ආහාරයට ගන්නා නිසා ඒවායේ සීත ගුණය විනාශ වී ඕනෑම කෙනකුට ආහාරයට ගත හැකි තත්ත්වයට පත්වෙයි.

අවුරුදු කෑම මේසය හැඩකරන අපේ ආහාර සංස්කෘතියේ පුමුඛ අංගයක් වන කැවිලිවල රසවත් බව වගේම එහි තිබෙන පෝෂණ ගුණ සම්බන්ධව කෙටි පැහැදිලි කිරිමක් පහත දක්වා තිබේ.

කිරිබත් කියනනේ අවුරුදු කෑම මේසේ විතරක් නෙමේ ඕනෑම වැදගත් අවස්ථාවක චාරිත්‍රයක් විදිහට පිළියෙල කරන ආහාරයක්. සමාන්‍ය ප්‍රමානයේ කිරිබත් කැටයක ශක්තිය කිලෝ කැලරි 240 ක් පමණ අඩංගුවෙනවා. කිරිබත් පිළියලකරනකොට මුංඇට එකතුකරල මුං කිරිබත් හැදුවොත් කිරිබත් වල රස වගේම ගුණයත් තව වැඩිවෙනවා. මුංඇට කියන්නේ රනිල කුලයේ ඇට වර්ගයක්. රනිල කුලයේ ඇට වල ප්‍රෝටීන් සහ තන්තු බහුලයි.

මුං කැවුම් අවුරුදු කෑම මේසයේ තියන ඉතා රසවත්ම කැවිලි වර්ගයක්. සමාන්‍ය ප්‍රමානයේ මුං කැවුමක ශක්තිය කිලෝ කැලරි 187 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 3.6 ක් සහ මේදය ග්‍රෑම් 1.7 ක් පමණත් එක මුං කැවුමක අඩංගුවෙනවා.

කොකිස් අපි කවුරුත් ආසාවෙන් කන කැවිලි වර්ගයක්. විවිධ හැඩතල වලට හදන සමාන්‍ය ප්‍රමානයේ එක කොකිසකින් ශක්තිය කිලෝ කැලරි 56 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.2 ක් සහ මේදය ග්‍රෑම් 1.8 ක් පමණත් එක කොකිසක අඩංගුවෙනවා. ඒඅනුව ගත්තාම කොකිස් අනිත් රසකැවිලි වලට වඩා අඩු ශක්ති ප්‍රමානයක් සහිත කැවිළි වර්ගයක්.

වැලිතලප නම් හැබැයි ශක්ති ප්‍රමාණය තරමක් වැඩි රස කැවිලි වර්ගයක්.ඊට හේතුව අධික පැණිරස ගතිය. සමාන්‍ය ප්‍රමානයේ වැලිතලපයකින් ශක්තිය කිලෝ කැලරි 257 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 2.3 ක් සහ මේදය ග්‍රෑම් 2.5 ක් පමණත් එක වැලිතලපයක අඩංගුවෙනවා. වැලිතලප වගේම ශක්ති ප්‍රමාණය තරමක් වැඩි කැවිලි වර්ගයක් තමයි පැණි වළලු කියන්නේ. සාමාන්‍ය ප්‍රමානයේ පැණි වළල්ලකින් ශක්තිය කිලෝ කැලරි 247 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 3.7 ක් සහ මේදය ග්‍රෑම් 12.9 ක් පමණත් එක වළල්ලක අඩංගුවෙනවා. අවුරුදු කෑම මේසයේ තියන කැවිලි වර්ග අතරින් මේදය වැඩිම කැවිලි වර්ගයක් තමයි මේ පැණි වළලු.

අලුවා කියන්නේ සෑම නිවසකම වගේ අලුත් අවුරුද්දට හදන කැවිලි වර්ගයක්. සමාන්‍ය ප්‍රමාණයේ අලුවා කෑල්ලකින් ශක්තිය කිලෝ කැලරි 145 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 ක් සහ මේදය ග්‍රෑම් 3.4 ක් පමණත් එක අලුවා කෑල්ලක අඩංගුවෙනවා. අලුවා හදනකොට  වියළි කජු එකතුකළාම අලුවා වල රස වගේම ගුණයත් වැඩිවෙනවා. කජු වල තියන විශේෂ මේද වර්ගයට පුලුවන් අපේ ශරීරයේ තියන නරක කොලෙස්ටරෝල් අඩු කරලා හොද කොලෙස්ටරෝල් වැඩිකරන්න.

මේ සියළු කාරණාවන්ගෙන් පැහැදිලි වන්නේ අපේ රටේ අද දක්වා පැවත එන විශේෂිත අවුරුදු ආහාර සංස්කෘතිය රසෙන් මෙන්ම ගුණෙන්ද ඉහළ බව නොවේද ? එමෙන්ම ඒ හරහා ගොඩනැගෙන සාමුහික එකමුතු බවේ රසය මිල කල හැකිද? අද කෙමෙන් කෙමෙන් මේ කාරණා අප සමාජයෙන් ගිලිහි යමින් පවතියි.වෙනදා මෙන් කැවිලි තම නිවසේම හැදෙනවා දකින්නට අද දරුවන්ට අපහසුය.ඒවා බොහොමයක් අද වෙළදසැල්වලින් මිලදී ගන්නට අද සමාජය පුරුදු වී ඇත.යාන්තමින් චාරිත්‍ර ටික නැකැත් සීට්ටුව තවමත් ජයටම සමරමින් ඉතිරී වි ඇත.හේතුවක් අරුතක් නොදත් අද දරුවන් ප්‍රීතියෙන් අවුරුද්ද එනතුරු බලා සිටින්නේ ඔවුන්ට ලැබෙන අසීමිත නිදහස හා කටපුරා පැණිරස කැවිලි කෑමට ලැබෙන නිසාවෙනි.

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට
TBC

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක්...

June 24, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Next Post
Throwback Ceylon

ජනප්‍රිය භාරත ගී ඇසුරෙන් නිර්මාණය වූ මෙරට චිත්‍රපට ගීත

Throwback Ceylon

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

Recommended

Throwback Ceylon

D. S. Senanayaka

May 17, 2022
Throwback Ceylon

Hamadhama Favorite Jolly Badagini

May 17, 2022
Throwback Ceylon

ජනප්‍රිය භාරත ගී ඇසුරෙන් නිර්මාණය වූ මෙරට චිත්‍රපට ගීත

May 17, 2022
Throwback Ceylon

Phrases and words used by every Sri Lankan (අපිට පුරුදු වචන)

May 17, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon