• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

June 24, 2022
in TBC
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක් බිහිකළ, රා කර්මාන්තය පිළිබදවයි.

හවස් යාමයේ මළහිරුත් සමග රා කට්ටක් තොල ගෑම අතීතයේ පටන් අප මුතුන්මිත්තන් පුරුද්දක් ලෙස සිදුකර තිබේ.රා මත්වන පානයක් නිසා සමහරු ප්‍රතික්ෂේප කළද, මිල අධික විස්කි බැන්ඩි මෙහි එන්නට ප්‍රථම මෙරට කාගේත් මත් වෙන්න හොදම පානය වූයේ මෙයයි. එයිනුත් කිතුල් රා සදහා හොදින්ම ඉල්ලුම වැඩිය.පොල් රා, කිතුල් රා හා තල් රා යනුවෙන් රා වර්ග තුනක් මෙරටින් හදුනා ගත හැක.පිළිවෙලින් පොල් ගස,කිතුල් ගස හා තල් ගසේ මල කපා එහි මල් පැණිය මෙලෙස රා ලෙස පානය කරනු ලැබේ.

මුහුදුකරයත් සමග ජීවත්වන පහතරට ඇත්තෝ  පොල් රා සමග සමීප, පොල් ගස මේ පළාත්වල සුලබ හෙයිනි.කිතුල් රා රට මැද වන්නටත්, උතුරුකරයේ තල් රා සඳහාත් ප්‍රචලිත වේ.අපේ රටේ රා කර්මාන්තයට ඇත්තේ දිගු ඉතිහාසයකි. මුහුදුකරය ආශ්‍රිතව සහ පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව රා කර්මාන්තය ජයටම සිදු කර තිබේ.

මේ වනවිට පොල් රා කර්මාන්තය අභාවයට ගොස් තිබුනද කලක් මෙරට ඉතා හොද දේශීය කර්මාන්තයක් ලෙස මෙය පැවතුනි.

වාඩියක රා බීම තරම්, රා පෙරා ගැනීම සුන්දර කටයුත්තක් නොවේ.එය ඇත්තෙන්ම ඉතාම භයානක රස්සාවකි.අතුරෙහි ගොස් රා මදින මිනිසා යළි ගෙදර එනතුරු අවිනිශ්චිත වේ.

මේ සුමිහිරි පානය හා බැදි අන්තරාදායක රැකියාව නිසාවෙන්ම නූතන සමාජයෙන් කෙමෙන් මෙය වියැකෙමින් පවතියි.

මුහුදුකරය ආශ්‍රිතව පදිංචි පිරිමි පුද්ගලයින් එකල සිය කායික වෙහෙස හා පවස නිවාලන්නට රා පානය කළහ. සැබවින්ම පොල් මලෙන් වැස්සෙන තෙලිදිය සිනිවලින් පමණක් නොව පොටැසියම් වැනි ලවන වලින්ද පොහොසත්ය. මුහුද ආශ්‍රිත ලුණු ගතිය මිශ්‍ර කටුක උෂ්ණත්වය නිසා ශරිරයෙන් දහඩිය සමග පිටවන ඛණිජ ද්‍රව්‍ය රා වැනි පානයන් තුලින් නැවත ශරිරයට ලබා දෙයි.

ඉංග්‍රිසි යුගයේ දී අරක්කු හා රා රේන්දය නිසා රජයට නිත්‍ය ආදායමක් හිමි විය. රා රේන්දය නිසා ආදායම් ඉපයු ස්වදේශිකයින් පොල්වගාව ව්‍යාප්ත කිරිමට මුල් වූහ. එකල මුඩුබිම් පනත යටතේ රජය සතු වු ඉඩම් වගාව සඳහා වෙන් කිරිමේ දී එවා අත්පත්කරගත් ස්වදේශික ධනවතුන් පොල් වැවූහ.

එකල අපේ පැරැන්නෝ ගසකින් බාගත් රා පොල්කට්ටක් පානය කිරිමට පුරුදුව සිටියහ. ඒ විතරක් නොව ඇතමුන් දරුවන්ගේ පණුගායට රා හැන්දක් දීමට පුරුදුව සිටියහ. ඇතැම් දේශීය බෙහෙත් වර්ග සඳහාද රා අවශ්‍ය වේ. එකල ආප්ප සැදීමට නම් රා මණ්ඩි නැතිවම බැරිවිය.

පොල් ගස වනාහි තාල වර්ගයට අයත් වන අතර එහි පල ප්‍රයෝජන සීමාවක්නම් නැත. දිවයිනේ පහතරට ප්‍රදේශයන්ට විශේෂයෙන් ආවේණිකවූ, පොල් ගසේ පලෙන් ලබා ගන්නා කදුල හෙවත් රා කර්මාන්තයක් ලෙසින් අවුරුදු 60කට වැඩි කාලයක් මෙරට තිබී ඇත.

පොල් ගසක් සිටුවා වසර ගනනාවක් බලා සිටි පසු එයින් පොල් හෝ පොල් වෙනුවට රා ලබා ගැනීමට ඉඩම් අක්කර ගණන් වශයෙන් හෝ සුළු වශයෙන් භාවිතා කරනු ලැබේ. ඉන්පසු භාරදූරම කර්‍ය වන්නෙ එම ගස් මැදීම හෙවත් රා මදින්නා ලෙස විරිදාවලිය ලත් කෙනෙකු සොයා ගැනීමයි. ඉතිහාසගත කරුණු අනුව මේ සදහා ප්‍රථමයෙන් යොදා ගෙන තිබෙන්නේ ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ පිරිසකි.ඔවුන් අන්නේ ලෙස හදුන්වනු ලැබ තිබේ. සැබවින්ම රා මැදිමේ කර්මාන්තයේ නිරත වීම සඳහා හොඳ ජවයක් හා අත්දැකීම් බහුල පෘශ්ට දේහයක්  තිබිය යුතුය. මෙය ඉතා වෙහෙසකර රැකියාවකි. දිනකට දෙවතාවක් පොල්ගසට නැගිය යුතුය. ඉන් අනතුරුව ඒ සදහා අවශ්‍ය ආයුධ කට්ටලය හෙවත් ආම්පන්න ටිකත් සපයා ගත යුතුවේ..ඔහුගේ නිළ ඇදුම ලෙස යොදා ගැනෙන්නේ නිල් පාටින් මසා ගත්ත කුඩා රෙද්දක්.මෙයට කච්ච රෙද්ද යනුවෙන් හදුන්වයි.

රා මැදීමේ දී භාවිතා කරන සුවිශේෂී ආයුධ බහාලීමට ලී වලින් සකස් කරන ලද කුඩා පෙට්ටිය “මදින පෙට්ටිය” නමින් හදුන්වනවා. මල්තැලුම, මදින පිහි කට්ටලය ආදී මල් මැදීමට විශේෂයෙන්ම සකස් කරන ලද ආයුධ ආම්පන්න සියල්ලම මේ මදින පෙට්ටියේ ඇතුළත් වෙනවා.

පොල් රා කර්මාන්තය ගැන කතා කරද්දී ඒත් එක්කම හෙවනැල්ල වගේ එන අනිත් වචනය තමයි “අතුර”. පොල් ගස් මුදුන් යාකරල ශක්තිමත් ලණුවලින් ගස් අතරෙ එහාමෙහා යන්නට හැකි වෙන්න බඳින වියමනකට අතුර කියල කියනවා. රා මදින්නන් ගහෙන් ගහට මාරු වෙන්නෙ මේ අතුර දිගේ. අතුරට නැගීම සදහා එක් පහසු ගසක් තෝරාගෙන එහි නැගීම සදහා මුදුනට පඩි මෙන් බදිනු ලැබේ. මෙම පඩි බදින ගස “හැර” ගහ ලෙස හදුන්වනු ලැබේ.

හැබැයි අතුරෙ යනව කියන එකනම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඕනෑම පළපුරුදු රා මදින්නෙකුට වුවත් සුළු අතපසු වීමකින් අතුරෙන් බිමට වැටී ජිවිතය නැතුව යා හැකියි. ඒ නිසාම යම් අනතුරුදායක් වැඩක් කරනකොට එය හදුන්වන්න අපේ ජනවහරට ” ඒකත් හරියට අතුරේ යනවා වගේ ” වගේ කියමනක් ඇවිත් තියෙන්නේ.

රා මදින්න තෝරාගත් ගහක මුලින්ම සිදුකල යුතු කාර්යය තමයි මල වෙලීම. මදිද්දී මල පුපුරන එකෙන් වළක්වාගන්න තමයි මෙහෙම කරන්නේ. ඉස්සර මේ සදහා භාවිතා කරල තියෙන්නෙ ගොක්කොළ උනත් අද නම් භාවිතා කරන්නෙ කොහු ලණු.

ගහින් ගහට මාරුවෙවී මල් තලල, මල අගින් සැලකිය යුතු මට්ටමේ කොටසක් ඉවත් කරල, කෙළවරින් පොඩි මුට්ටියක් බඳිනවා. ඒ මුට්ටියට තමයි මලෙන් බේරෙන රා ටික එකතුවෙන්නේ. ඒ විදියට එකතුවෙන රා ඔක්කොම එක්තු කරල ගහෙන් බිමට බාන්නෙ, “රා ලබ්බ” කියල හදුන්වන ලබු කැටයක හැඩයක් ඇති බහාලුමකින්.

සාමාන්‍යයෙන් මේ වගේ රා මැදීමේ කටයුතු සිද්ධ වෙන තැන්වල “වාඩිය” නමින් හදුන්වන ස්ථානයක් තියෙනවා. එතන තමයි රා මදින්නන් එකතු කරගත්ත රා ටික රාජ්‍ය ස්කාගාර සංස්ථාවට සහ විනාකිරි නිෂ්පාදනය වැනි අතුරු නිෂ්පාදන සදහා ලබාදෙන තෙක්  තාවකාලිකව ගබඩා කරල තියන්නෙ. ඒ විතරක් නෙමේ වෙහෙස උනාම පොඩි නින්දක් දාන්න, බඩගිනි උනාම බත් ටිකක් උයා පිහාගෙන බඩ පුරව ගන්න උනත් මේ මිනිස්සුන්ට හෙවන දෙන්නෙ මේ වාඩිය කියන තැන තමයි.

රා කර්මාන්තය ගැන කතා කරනකොට කලින් සදහන් කල පරිදි හොදටම ඉල්ලුම තියෙන රසවත්ම රා තමයි කිතුල් රා.

සාමාන්‍යයෙන් දෙවර්ගයකට අයිති කිතුල් ගස් තියෙනවා. එක වර්ගයක් සිහින්ව උසට වැඩෙන අතර අනෙක් වර්ගය වඩා උස නොයන කඳ මහත වර්ගයක්. මේ උස නොයන වර්ගය රෑන කිතුල් යනුවෙන් හදුන්වනවා මේ ඒකට හේතු වශයෙන් පහසුවෙන් හැර ගැහීමට හැකිවීම හා වැඩි තෙලිජ්ජ ප්‍රමාණයක් ලබා ගැනීමට ඇති හැකියාව නිසා කොට ගස්වල මල් හැදීම සාපේක්ෂව වැඩියි.

හැර ගහලා ගසට නැගීමෙන් අනතුරුව කිතුල් මල තලන්න/කැපීමට සුදුසු ප්‍රමාණයට වැඩිලද කියලා බලනවා. කිතුල් මල ඝනකම් හනසු කීපයකින් ආවරණය වෙලා තිබුනට අග කොටස තරමක් මෘදුයි. එම කොටස තදින් මිරිකනකොට එබෙන්නේ නැතිනම් ඒකට අපි කියනවා අග පිරිලා කියලා. එහෙම නම් ඒ මල කපන්න සුදුසු තත්වෙට වැඩිලා. මේ විදියට කිතුල් මල කපලා, පදම් කරලා වැස්සට නොතෙමෙන්න ආරක්ෂා කරගන්න ඕන.ගමටම පැණි දුන් කිතුල් කර්මාන්තය විපතේ - Lankadeepa Online

ඉන්පසුව මලේ අග කොටස කපලා, උදේට දවල්ට හවසට මල කපන්න ඕන.මල කපනවා කිව්වට පිහියෙන් කොටලා කපන්නේ නෑ. බොහොම සියුම් ආකාරයට මල නොහෙල්ලෙන විදිහට මලෙන් තුනී කොටසක් විතරයි කපලා ඉවත් කරන්නේ. තුන් වරුව කපන කොට අපට මල් මූනතට කඳුල පුරනවා බලන්න පුළුවන්.ඒ තමයි තෙලිජ්ජ.දවස් දෙක තුනක් ගතවෙන කොට ගසට මුට්ටියක් එල්ලනවා. උදේ මුට්ටිය එල්ලුව නම් දවල් වනවිට තෙලිජ්ජ එකතු වෙනවා. ක්‍රමයෙන්  කඳුල වැඩි වෙන බවක් පෙනෙන්න තිබේනම්, අදාල මුට්ටියේ ප්‍රමාණය වෙනස් කරනවා. සමහර ගස්වල බෝතල් 25-30 සෑහෙන්න තෙලිජ්ජ තිබෙනවා. ඊට අඩු වැඩි වෙන වෙලාවලුත් නැතිවම නෙමේ.පැණි හෝ හකුරු හදන්න ගන්නවා නම් එලෙසින්ම උණු කරනවා. නමුත් රා හදනකොට දවසක් දෙකක් ගහේම තියෙන්න අරිනවා. එතකොට භාජනේ අඩියේ මන්ඩි වගේ හැදෙනවා සුදු පාටට. එවිට උඩ තියන තෙලිජ්ජ ටික ඉවත් කරලා, අර මන්ඩි ගතියට තියෙන ටික ඉතිරි කරගන්නවා. ඊට පස්සේ ඒ මුට්ටියම ආයේ ගහට එල්ලනවා. ඔන්න ඉතින් හවසට හරි ඊලඟ දවසට හරි යනකොට සුදට සුඉදේ පෙන දාන රාමුට්ටියක් තියෙනවා.පැණි හෝ හකුරු සාදන විට අපි වැඩි වෙලා එකතුවෙන තෙලිජ්ජ ගහේ තියන්නේ නැහැ.. ඒවගේම නිතර නිතර ගහට එල්ලන මුට්ටිත් මාරු කරනවා. එහෙම කරන්නේ තෙලිජ්ජ පැහෙන එක නතර කරන්න. යන්තම් හෝ ඇඹුල් උනොත් ඒ වැඩේ කරන්න බැරි වෙනවා. ගේන තෙලිජ්ජ ගෙනා ගමන්ම පෙරලා උණු කරනවා. මේ පැණි, හකුරු හදන ගෙවල් වල එලියේ මඩුවක හෝ කොහේ හරි නිතරම දැල්වෙන ලිපක ලොකු තාච්චියක් (ඩොංගා තාච්චි) තියලා තියෙනවා. ගහෙන් රැගෙන එන තෙලිජ්ජ  මේ තාච්චියට එකතු කර කර ගින්දර දානවා. පැය 5-6 ක් හින්දනකොට පැණි පදමට එනවා. එතකොට ලිපෙන් බාලා ගත්තොත් කිතුල් පැණි. හකුරු හදන්න ඕනි නම් තවත් හින්දනවා.හැඳිගාන කොට අතට දැනෙනවා පැණි එක ඝනවීගෙන එනවා. එවිට ලිපෙන් බාලා පොල් කටු වත්කරගන්න ඕන. විනාඩි 10න් ලස්සන හකුරු පියන් ගලවන්න පුලුවන්. ගොඩක් අය ආසයි හකුරු බෝල කන්න. ඒවා හදන්නේ හකුරු වත්කරලා ඉවර උනාට පස්සේ පැණි උණුකරපු තාච්චිය හූරලා. දැන් කිතුල් පැණි ටිකක් කන්න ආසාවක් ඔබටත් එන්න ඇති.

අවුරුද්දේ හැමදාම පොල්මල් පීදෙන්නේ නැහැ.එලෙස එන ආවර කාලවලදි පොල් රා මදින අයට ජිවත්වීම සදහා වෙනත් යමක් ජීවනෝපාය ලෙස කිරීමට සිදුවේ.බොහෝ දෙනා පොල් ගස් අතර ඉඩෙහි සුළු බෝග වගාවන්වල මේ කාලයේ නියැලේ.

මෙම රා මැදීමේ ජීවනෝපාය පරම්පරාවෙන් පැවත ආ එකක් මෙන්ම ඒ සදහා හොද ශිල්පීය දැනුමක් තිබිය යුතු වේ.නමුත් නව පරම්පරාව රා මෙන්ම මෙම රැකියාවත් සමාජයේ පිළිගැනීමක් නොමැතිකම නිසා අත් හැර තිබෙන බවක් පෙනී යයි. කෘතිම රා වලට රාජ්‍ය ස්කාගාර සංස්ථාව වැඩි අවධානයක් දීම සහ මේ පාරම්පරික කර්මාන්තය රැකගන්න රජයක් විදියට දක්වන දායකත්වයේ හිඟකම නිසාත් කර්මාන්තයක් ලෙස ආර්ථික වශයෙන් පාඩු ලැබීමත් නූතන පරම්පරාව මේ කර්මාන්තයෙන් ඈත් කර තිබේ.

කෙමෙන් අභාවයට යන ඉතා දුෂ්කර නමුත් රසවත් කර්මාන්තයක සුලමුල ඉතා සැකෙවින් අපි අද කතා කළා.නව තාක්ෂණයත් සමග මෙරට රා කර්මාන්තය අලුත් මුහුණුවරකින් වැඩිදියුණු වේවායි අප අවසානයේ ප්‍රාර්ථනා කරනවා.

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Throwback Ceylon
TBC

ජනප්‍රිය භාරත ගී ඇසුරෙන් නිර්මාණය වූ මෙරට චිත්‍රපට ගීත

සිංහල සංගීතයේත්,චිත්‍රපටියේත් ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 70 දශකයේ සිට 90 දශකය දක්වා කාලයයි.එයට හේතු වූ කාරණා කිහිපයක් සරලව අපට මෙලෙස...

May 17, 2022
Next Post
2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

Recommended

Throwback Ceylon

අපේ ලොවයි – මඩොල් දූව

May 17, 2022
Throwback Ceylon

Sri Lanka’s all-time Favorite toffees – Milk Toffees (කිරි ටොෆී) and Coconut Toffees (පොල් ටොෆී)

May 17, 2022
Throwback Ceylon

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

May 23, 2022
Throwback Ceylon

Kiribath – A Milk Rice like no other

May 17, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon