• Home
  • About TBC
Throw Back
  • Home
  • About TBC
Throw Back
Throw Back

බයිලා කියවන් නැතුව බයිලා ගැන කියවන්න

May 23, 2022
in TBC
Throwback Ceylon

බයිලා වලින් රට හොල්ලපු කලාකරුවන් මෙරට සිටියා මෙන්ම ඔවුන්ගේ බයිලා ගීත අසා එදා නැටවුනු ප්‍රේක්ෂක ජනකායක්ද මෙහි විසූහ.අද කියා එහි වෙනසක් නොමැත.ඕනෑම ප්‍රසංගයක කොතරම් ගීත ගැයුනද බයිලා ගීතයක් නොමැති වූයේ නම්, පරිප්පු නැති හෝටලය මෙන් එහි මහත් අඩුවක් විය.බයිලා ගීත යනු අපේ සංගීත කලාවට බයිලාවක් නොව එය ප්‍රභාවත් කරවූ ආභරණයකි.අවාසනාවට අද අලුතින් බයිලා ගීත නිර්මාණය වන්නේ නැති තරම්ය.අද බයිලා ගීත කියා ගැයෙන්නේ බයිලා යන වචනය අන්තර්ගතය වු ගීතයි.මේ අපූරූ ගීත කලාව පෝෂණය කල එම්.එස් ප්‍රනාන්දු වැනි ශීල්පීන්ගේ ගීත අදද තලු මර මර නැවත නැවත අප රස විදින අතර එම ශිල්පීන් අද අප අතර නොමැති වුවත් සදාකල් එම ගීත නිසා ඔවුන් අප හදවත් තුළ ජීවමාන වෙසෙයි.යොවුන් තරුණයින් මෙරට ඉතිහාසයේ ජනප්‍රිය වූ බයිලා ගීත නිසාවෙන් සුපිරි තරු වන කාලයක මෙරට බයිලා ගීත පිළිබද අතීතය සොයා බලන්නට අපට සිත්විය.මෙවර අපේ කතාව ශ්‍රී ලංකාවේ බයිලා ගීත සම්බන්ධවයි.

සුදු ජාතික  ඉංග්‍රීසින්ගෙන් අප නිදහස් වී වසර හැත්තෑ තුනක් සපිරුනද ,පළමුව වසර 1505දී පෘතුගීසින් මෙරට ආක්‍රමණය සිදූ වීමත් සමග දීර්ඝ යටත්විජිත පාලන සමයක ගතකල අපට මේ විවිධ සංස්කෘතියන්ගේ අභාෂය විවිධ ක්ෂෙත්‍රයන්ට ලැබුණි.අද අපගේ කතා ප්‍රස්තෘය වන මෙරට බයිලා ගීත කලාවද අපට පෘතුගීසි ජනතාවගෙන් ලද අභාෂයකින් ආරම්භ වූවකි.ආගම සහ නීතිය හැරුනුකොට පෘතුගීසින්ගෙන් අපට ලැබුනු ඊලග වැදගත් දෙය බයිලා ගීත කලාව යැයි කීමේ වරදක් නැත. ශ්‍රී  ලංකාවට අමතරව මෙම බයිලා ගීත සම්ප්‍රදාය ඉන්දියාවේ ගෝව,බැංගලෝරය වැනි ප්‍රදේශ වලද යටත් විජිත සමයේ ප්‍රචලිත විය.

බයිලා යන වචනය නිර්මාණය වී ඇත්තේ පෘතුගීසි භාෂාවේ “බයිලර්” යන වචනයෙනි.එහි අර්ථය නර්තනය යන්නයි.බයිලර් ඔවුන්ට නර්තන සම්ප්‍රදායක් වුවද එය අපට බයිලා වී නතර වන්නේ සංගීත කලාවක් ලෙසටය. .මෙම බයිලර් සම්ප්‍රදාය  ස්පාඤ්ඤයෙන් ආරම්භ වී පසුව ලතින් ඇමෙරිකානු රටක් වූ පෘතුගීසියේ සියවස් ගණනාවක් තිස්සේ පෝෂණය වී ඇති බව කියැවේ.

දහසය වන සියවසේ සිට බයිලා ගීත කලාව ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල වඩාත් ප්‍රචලිතව ව්‍යාප්තව ඇත.එදා පෘතුගිසී හමුදාවේ වහල් සේවයට පැමිණි කාපිරි ජනතාව විසින් ඔවුන්ගේ විවේක කාලයේදී කපිරිඤ්ඤා ගීත ගයමින් නර්තනයේ යෙදී තිබේ.ඔවුන් නිසාවෙන් මෙම වේග රිද්ම බයිලා සින්දු මෙරට වඩාත් ප්‍රචලිත වන්නට ඇතැයි සිතිය හැක. පුත්තලම ප්‍රදේශයේ ජීවත්වන කාපිරි ජනතාව තම මංගල උත්සවවලදී වයින් සහ කේක් රසවිදිමින් බයිලා ගීත ගායනා කරමින් නර්තනයේ යෙදී තිබේ.

තවද ක්‍රමයෙන් මුහුදුබඩ ප්‍රදේශවල අපේ ජනතාවද තම මගුල් උත්සව ආදී විවිධ ප්‍රීති උත්සව සදහා මෙම ගීත ගායනා කරන්නට පසුව පුරුදු වූහ.පුත්තල,මඩකලපුව ආදී ප්‍රදේශවල මුල් කාලයේ පැතුරුනු බයිලා ගීත පසුව මොරටුව බයිලා පුරවරයක් වන තෙක් ක්‍රම ක්‍රමයෙන් විකාශනය විය. බයිලා ගීත කලාවේ ස්වර්ණමය යුගය මෙරට ඇරඹෙන්නේ 20වන සියවස පසුවය.ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වූ බයිලා ගී නාදයන් සදහා  සිංහල වචන යොදා බයිලා ගීත ගයන්නට වූයේ වසර1947න් පසුවය.එම කපිරිඤ්ඤා ගීත කලාව මෙරට 6/8  රිද්මයට හැඩවන්න ගත්තේද මෙකලය.

මෙකී බයිලා කලාවේ මෙරට ස්වර්ණමය යුගය ආරම්භ කරන ලද්දේ, එයට පුරෝගාමි වූයේ ,අදටද ජනප්‍රිය බයිලා ලොවේ කිරුළු පලන් වොලී බැස්ටියන් කලාකරුවා විසිනි.ශ්‍රී ලංකාවේ බයිලා ඉතිහාස කතාව ලියැවෙන්නේ නම් එහි වොලී බැස්ටියන් යන නාමය සදහා සුවිශේෂි තැනක් ලැබිය යුතු වේ. වෘත්තියෙන් පොලිස් නිළධාරියෙක් වුනු වොලී බැස්ටියන් තමයි 6/8 කපිරිඤ්ඤා තාලයට මුලින්ම සිංහල බයිලා සිංදු කියන්න පටන් ගන්නෙ. ඒ ආභාෂය ගත්තු එම්. එස් ප්‍රනාන්දු 1970 දශකයෙදි කපිරිඤ්ඤා වගේම කැලිප්සෝ තාලවලටත් සිංහල බයිලා සිංදු කියන්න පටන් ගන්නව.

“පරසිඳු කොළොම්පුරේ මෝදර ගං ඉවුරු කොණේ

වියෝලෙ නාදෙ ඇසෙන්නේ..

හරියට වැටුණු වෙලේ පෙන්නා ළඳුන් බයිල සැරේ

බයිලා රජා ගැනයි කියන්නේ..

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්

බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්..”

ඉහත වචන ටික ඔබ මේ වන විටත් කියවන්නට ඇත්තේ ගීතයේ තාලයට බව නොරහසකි.ඒ තරමට මෙම බයිලා ගීතය හා වොලී බැස්ටියන් අප අතර සදාකල් ජීවත් වන්නේය.ගීතයෙන් පැවසෙන්නාක් මෙන් ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් යනු බයිලා ලොව කිරුළු පළන් එක් රජෙකි.ඔහුගේ නාමය ජනප්‍රියත්වයෙන් දෙවැනි වන්නේ එම්.එස්ට පමණි.

අද පවතින කෝරස් බයිලා විලාසිතාව හදුන්වාදීමේ පුරෝගාමීයාද ඔහුය.කෝරස් බයිලා යනු ගීතය පුරාවටම එකම ගීත ඛණ්ඩයක් වරින් වර ගැයෙන ලෙසට ගීත සැකසීමේ ක්‍රමයයි.ගීතයේ මුල මැද අග මෙම කොටස ගායනා වේ.තවද එදිනෙදා ජිවීතයේ සිදුවීම් , කාලීන ආන්දොලනාත්මක පුවත් ඇසුරෙන් බයිලා ගීත නිර්මාණය කරන්නටද වොලී බැස්ටියන් පුරෝගාමී විය.මෙම අසහාය කලාකරුවා විසින් සමහර බයිලා ගීත රචනයේදී  ඉංග්‍රීසි වචනද අතරමැද යොදා රසබර කරමින් අපූරුවට නිර්මාණ කර තිබෙන අතර අවිවාදයෙන්ම වොලි බැස්ටියන් යනු මෙරට බයිලා කලාවේ සදාතනික රජුය.

“නෝනා මගෙ නර්ස් නෝනා

සිහිවෙනවා නිතර දෙවේලේ

නෝනා මගෙ නර්ස් නෝනා

ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ..”

ඉහත ගීතය වොලී විසින් තම හෙද නිළධාරීනියක වූ තම සොහොයුරිය ෆෙලීෂියා ෆ්ලෝරන්ස් ජයසේකර වෙනුවෙන් රචනා කර තිබේ.

“හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක

කොල්ලෝ රැළක් වටකරගෙන ගැහුවා බෙල් එක

කොල්ලෝ කෙල්ලෝ වටකරගෙන

බබි ආච්චිව මැදි කරගෙන

කොල්ලෝ කෙල්ලෝ උඩ පැන පැන ගැහුවා බෙල් එක..”

දිනපතා මොරටුව වේල්ස් කුමර විදුහල ඉදිරිපිට සිදුවන සිදුවීමක් ඇසුරෙන් මෙම ගීතය වොලී රචනා කර ඇති බවට සදහන් වේ.

සැඩ සුලං හමන්නේ, රටක් වටිනවා, අයරින් ජොසපින්, ලේ කිරි කරලා, මුහුදේ යමු, වද කහ සුදිය, යමං බණ්ඩො වැනි වොලි බැස්ටියන්ගේ බයිලා ගීතවල රිද්මය සදාකල් අප අතර ජනප්‍රිය පවතී.

ලාංකීය බයිලා කලාව ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් යුක්තය.පෙර සදහන් කල කෝරස් බයිලා, වාද බයිලා,පපරේ බයිලා හා කැලිප්සෝ බයිලා මෙම වර්ග හතරයි.මෙයිනුත් අදටත් යම් පමණකට සුරක්ෂිතව තිබෙන වාද බයිලා ඉතා විනෝදකාමී එකකි. බයිලා ගීත සදහා සැම විටම යොදා ගැනුනේ සරල පද වැල්ය.වාද බයිලා යනු මෙරට මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ඇති වූ ජන කලා සම්ප්‍රදායක් ලෙස හැදින්වූවාට වරදක් නොමැත.මොරටුව, ගල්කිස්ස හා කොළඹ මුහුදුකරය ආශ්‍රිතව තවමත් මෙම සම්ප්‍රදාය යම් පමණකින් ඇත.රෑ පහන් වනතුරු ගැයෙන වාද බයිලා ප්‍රසංග තරග ලෙසින් පැවැත්වෙ.එයටම ආවේණික රිතිද ඒවායේ ඇත.පෙර සුදානමක් ඇතුව කට පාඩමින් වාද බයිලා කීමට නොහැක.එම අවස්ථාවේ මතුවන කරුණු අනුව එසැණින් වාද බයිලා කිව යුතු අතර තාලයන් 36ක් පමණ මේ සදහා යොදා ගැනේ.

අතීතයේ වයලීන්, වියෝලා, ගිටාර්, ටැබොරින්, රබන්, හාර්මෝනියම් වැනි සංගීත භාණ්ඩවලින් හැඩ වූ බයිලා  ට්‍රම්පට් සහ හමුදා ඩ්‍රම් වර්ග වලින් පසුව හැඩ විය.

හැත්තෑව දශකයේදී මෙරට අනිකුත් කලාවන් මෙන්ම බයිලා කලාවටද විශේෂ අවධානයක් හා පුනරුදයක් ඇති විය.එහිදී මිනිසුන් අතර බයිලා ජනප්‍රිය කරවූ බයිලා චක්‍රවර්තී එම්.එස්.ප්‍රනාන්දු මහතා මෙහිදී කිසිවිටෙක අමතක කළ නොහැක. එම්. එස්. ප්‍රනාන්දු ආරම්භ කල, ‘බයිලා සංගීතය’, කැලිප්සෝ සංගීතයෙයි, බටහිර, පෙරදිග සංගීතවලයි අපූරු මිශ්‍රණයක්.ලාංකීය අභාෂය හොඳටම තියෙන මේ බයිලා සිංදු අදටත් අපි උපරිමයෙන්ම රස විඳිනව වගේම හිතේ හැටියට ඇඟ පත හොලවල නටන්නත්  පුළුවන්. එම්.එස් මහතා විසින් ගායනා කරන ලද එතුමාගේම පලමු ගීතය වන්නේ ” සිලි සිලියේ නව සුවදක් ” ගීතයයි. බයිලා ගායන තරගවලින් සම්මාන 150කට වඩා මෙතුමා දිනාගෙන තිබෙනවා.

ලංකාවේ බයිලා ගැන කතා කරන්නේ නම් එම්.එස් නැතුව එය කිසිවිටෙකත් සම්පූර්ණ වන්නේ නැත. ඔහු බයිලා කලාව දේශීය රටාවට හැඩ ගස්වමින් ජනගත කරන ලදි.

ඔබ දකික දකින දිනක, කැකිරි පැලෙන ටිකිරි හිනාවයි, පෙම් ලොව නින්දෙදි, සමරු පොතේ පිටු ගැලවී, මේ ඉරිදා ගිය ඉරිදා වාගේ, කොඩිගහ යට ආදි මෙම විශිෂ්ඨ කලාකරුවාගේ අතිශය ජනප්‍රිය බයිලා ගීත සදා නොමියෙන ලෙස අප හදවත් තුල ඇත.මෙම බයිලා ගී නොමැති රියැලිටි තරගයක් හෝ දැන් නොමැත.එලෙසට එම්.එස් විසින් ඔහුගේ උරුමය තවත් පරම්පරා ගණනාවක් හදන්නට යොමු කරවා ඇත.

එම්.එස් පමණක් නොව මෙරට බයිලා කලාව රසගුලාවක් බවට පත්කල ගායකයින් බොහොමයක් අපට හමුවේ.ඇන්ටන් ජෝන්ස්,පෝල් ප්‍රනාන්දු,ඩෙස්මන් ද සිල්වා,නිහාල් නෙල්සන්,සමන් ද සිල්වා,ධනපාල උඩවත්ත යන නම් ඇසූ පමණින් එකිනෙකට නොදෙවැනි ජනප්‍රිය බයිලා ගීත රැසක් මතකයට පැමිණේ.

ඇත්ත සිද්ධියක් ගීතයක් බවට පත්කරනවා කියන්නේ පහසු දෙයක් නෙමෙයි.එම සිදුවීම ගැළපෙන ලෙස පද ලියලා තනුවක් යොදා මිනිසුන්ට දැනෙන ලෙස ගායනා කිරිම සුළුපටු අභියෝගයක් නෙමෙයි.මෙම අභියෝගය සාර්ථකව ජයගත් බයිලා ගායකයෙක් තමයි ඇන්ටන් ජෝන්ස් කියන්නේ.වර්තමාන පරම්පරාවේ සමහරු මෙරට අතීත සිද්ධීන් ගැන දැන ගනු ලබන්නේද ඇන්ටන් මහතාගේ බයිලා ගීත තුලිනි.එසේ බලනවිට,  ‘ආසයි බයයි’,’ප්‍රේමවතී මනම්පේරි’, ‘පොළොන්නරුවෙ පොඩි විජේ’ වැනි ගීත මතකයට පැමිණේ.කන්තෝරුව කන්තෝරුව මන් වැඩ කරන ගීතය එතුමාගේ මුල්ම ගීතයයි.කැසට් පටි 40කට අධික ප්‍රමාණයක් ඇන්ටන් ජෝන්ස් මහතා විසින් නිර්මාණය කර තිබේ.

බයිලා කුමාරටා යැයි විරුදාවලි ලත් පෝල් ප්‍රනාන්දු මහතා නම ඇසෙන විට මතකයට පැමිණෙන්නේ “ගොළු හදවත විවර කරන්න ” ගීතයයි. ” මාලා මන් ඔබ ගැනම සිතාලා ” මේ සිංදුව තමයි පෝල් ප්‍රනාන්දු මහතාගේ මුල්ම නිර්මාණය.එය අදටත් එකලෙස ජනප්‍රියයි.එතුමා බයිලා ගීත 150ක් පමණ සිංහල ගීත ගොන්නට එක් කළ විශිෂ්ඨ කලාකරුවෙක්.

ඩෙස්මන් ද සිල්වා කියන්නේ මෙරට විශිෂ්ඨ බයිලා ගායකයෙක් වගේම අපේ බයිලා ගීත ලෝකයට අරන් ගිය අයෙක් ලෙස හදුන්වන්න පුළුවන්.එතුමා 1976දී එතුමාගේම  ‘ඩෙස්මන් ඇන්ඩ් ද ක්ලෑන්ස්’ නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කරනවා විතරක් නෙමෙයි 1979 අවුරුද්දෙ ග්‍රීසියෙ ඇතෑන්ස් නුවර පැවැත්වුනු ‘ඔලිම්පියාඩ් ඔෆ් සෝන්ග්ස්’ උත්සවයට මෙරට නියෝජනය කර තිබෙනවා.ඩෙස්මන් මහතාගේ  ‘පොල් කටු හැන්දෙ මිට වගේ’, ‘චූඩා මාණිකේ බලාලා’ වැනි ගීත අදටත් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගීතයි.

තමන්ගේ පළමු නිර්මාණයෙන්ම අතිශය ජනප්‍රියතාවයක් ගායකයෙකුට ලැබෙන්නේ නම් එය කලාතුරකින් සිදුවන සිදුවීමක් මෙන්ම වාසනාවන්ත සිදුවිමක්.එලෙස ජනප්‍රිය වූ වාසනාවන්ත ගායකයා නිහාල් නෙල්සන් මහතායි.ශ්‍රී ලංකා ගුවන් විදුලි  සංස්ථාවේ 1963 මාර්තු 31 විකාශනය වූ ” ලස්සනට පිපුණු වන මල්” ගීතය එම වාසනාවන්ත ගීතයයි.අදටද නව පරම්පරාව පවා ගායනා කරන මෙම ගීතය සදාතනික ජනප්‍රිය ගීතයකි.මෙය ලියු කරුණාරත්න අබේසේකර මහතාටද විශේෂ වන්නේ මෙය ඔහුගේද ප්‍රථම ගී පද රචනයයි.

‘කිරි දුන්නේ දරුවන්ටයි’, ‘ගුණෙ අයියගෙ කාමරේ’, ‘කාවඩි බයිලා’, ‘ගෑස් ලිපේ යකඩ තැටිය’ වැනි ජනප්‍රිය බයිලා ගීත රාශියක හිමිකරු වන නිහාල් නෙල්සන් මහතා මොරටු පුරවරයෙන් බිහිවූ සුපිරි ගනයේ බයිලා ගායකයෙකි.

ඉතිහාස සිදුවීම් ඉතා රසවත්ව ගායනා කල බයිලා ගායක ධනපාල උඩවත්ත මහතා මෙරට බයිලා කලාව ගැන කතා කිරීමේදී කෙලෙසක නම් අමතක කරන්නද? වර්තමාන ප්‍රසංග වේදිකාවේ බයිලා රජු ලෙසද මෙතුමා හදුන්වන්න පුළුවන්.’ඈ නීල වරල පීරලා’, ‘නෙළුම් විලේ නෙළුම් නෙලන’, ‘සිතුණාද සිතුවාද වීරයා හසලක’, ‘ගින්දර පිටවෙන්නට’ ‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි’ මෙතුමාගේ ජනප්‍රිය බයිලා ගීත වේ.ධනපාල උඩවත්ත මහතාගේ බයිලා ගීත මෙරට අවසාන වශයෙන් නිර්මාණය වු බයිලා ගීත ලෙසද සලකන්නට හැකිය.වර්තමාන ගායකයින් අලුතින් බයිලා ගීත නිර්මාණය නොකර පරණ ගායකයන්ගේ ගීතම් නැවත නැවත ගායනා කිරිම ඊට හේතුවයි.

මුල් යුගයේදී දේශීය සංස්කෘතිය විනාශ කරනවා යැයි බයිලා ගායකයින්ට විශාල අපවාද චෝදනා ඇසීමට සිදුවිය.එම ගීත පහත් කර සලකන්නට විය.නමුත් විවිධ රස ප්‍රිය කල ප්‍රේක්ෂකයන් විසින් ආදරයෙන් මෙම අපූරු වේග රිද්ම ගීත කලාව වැළදගත්හ. සම්භාව්‍ය ගීත පමණක් රස විදින අය පවා අනිවාර්යයෙන් ප්‍රිය සාදයකදී හෝ බයිලා ගීතයක් අසා සිත් පුරා සිතින් හෝ නැටවුනේ නැතිනම් එය බොරුවකි.

අද වන විට බයිලා ගීත කලාව මෙරට උරුමයක් වන තරමට දේශීය ඌරුවට සැකසුණු කලා සම්ප්‍රදායක් ලෙසට හැදින්විය හැක.අපේ ගීත කලාව ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමේදී මෙරට බයිලා ගීත කලාවෙන් විශාල යමක් කළ හැකිය. රියැලියකට පැමිණ බයිලා කියනවාට ඔබ්බට ගොස්  ලංකාවේ බයිලා ලෝකයට ගෙනියන්න වර්තමාන පරම්පරාවට සිත් පහල වේවායි සිතමු.

ShareTweetShare

Related Posts

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය
TBC

2022 ශ්‍රී ලංකාවේ අදූරදර්ශී රාජ්‍ය පාලනයට එරෙහිව නැගුණු පුරවැසි අරගලය හෙවත් ආදරයේ අරගලය

ලෝක ඉතිහාසයේ මෑත කාලීන මෙන්ම දීර්ඝ කාලීන ඉතිහාසය සූක්ෂමව පරීක්ෂා කිරිමේදී, වරින් වර විවිධ රටවල් නියෝජනය කරන විවිධ වයස් කණ්ඩායම්...

August 19, 2022
පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට
TBC

පැණි රහට මත්වෙන්න, මල තලා බොන රා කට්ට

මෙවර TBC කලාපය වෙන් වන්නේ මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ, මේ වනවිට අභාවයට යමින් පවතින, මෙරට එක්තරා ආකාරයේ උප සංස්කෘතියක්...

June 24, 2022
Throwback Ceylon
TBC

ඔලිම්පික් ඉතිහාසයේ එදා මෙදා තුර ශ්‍රී ලංකා නාමය

ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ තම ක්‍රීඩා දිවියේ ලබා ගැනීමට උත්සාහ කරන උච්චතම අවස්ථාව,සැබෑ කරගන්න බලාපොරොත්තු වන ලොකුම සිහිනය ඔලිම්පික් පදක්කමක් කිවහොත්...

May 23, 2022
Throwback Ceylon
TBC

90 ගණන්වල ටීවි එකේ හිට් වුනු පරණ ඇඩ්

වෙළද දැන්වීම්වලින් තොරවූ ලෝකයක් පිළිබදව ඔබට දැන් සිතන්නට පුළුවන්ද? කොහෙත්ම නොහැක.මේ කතා කරන මිනිත්තුවේ පවා අප කුමන හෝ නිෂ්පාදනයක සේවාවක...

May 23, 2022
Next Post
Throwback Ceylon

ලොව ජයගත් දිරිය ලක් කතුන්

Throwback Ceylon

අලුත් අවුරුද්දේ තෙලෙන් බැදෙන කිරෙන් ඉතිරෙන අපේ සිංහල කැවිලි

Recommended

Throwback Ceylon

D. S. Senanayaka

May 17, 2022
Throwback Ceylon

Popular food in sri lanka

May 23, 2022
Throwback Ceylon

අලුත් අවුරුද්දේ තෙලෙන් බැදෙන කිරෙන් ඉතිරෙන අපේ සිංහල කැවිලි

May 17, 2022
Throwback Ceylon

Ceylon tea and a dash of magic!

May 23, 2022

Instagram

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.

#tbc Established in 2018

No Result
View All Result
  • Home
  • About TBC

Throwback Ceylon